කාබන් තන්තු උපයෝගීකරගෙන නිපදවන උපාංගවල ක්ෂූද්‍ර යාන්ත‍්‍රික හැසිරීම සෙවීමේ පර්යේෂණයක් මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චින්තක මල්ලිකාරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ.

කාබන් තන්තු සංයුක්ත නිපදවනුයේ කාබන් තන්තු සහ තෝරාගත් මැලියම් ද්‍රව්‍යයක් එකිනෙකට බැඳීමෙන් සාදාගන්නා වරපට ගණනාවක් ක‍්‍රමාණුකූලව එකතු කිරීමෙනි. මෙම එක් එක් මූලද්‍රව්‍යවල අනුපාතය, තන්තු යොමු කර ඇති ආකාරය සහ දිසාව මත සංයුක්තයේ ශක්තිය සහ නම්‍යශීලීතාව තීරණයවේ.

උදාහරණයක් ලෙස යානයක් නිපදවන්නේ නම් එය සැහැල්ලූ වියයුතු අතර එය ශක්තිමත් මෙන්ම ඊට වැය වන ඉන්ධන ප‍්‍රමාණයද පිරිමසා ගත යුතුය. කාබන් තන්තුවල ක්ෂූද්‍ර හැසිරීම සොයාගැනීමෙන් යානය නිපදවන මූලාශ‍්‍ර තීරණය කිරීමට පහසුවේ.

විද්‍යාගාරය තුළ සිදුකරනු බලන භෞතික පරීක්‍ෂණවල ප‍්‍රථිපල උපයෝගී කරගනිමින් පරිගණක මෘදුකාංග භාවිතයෙන් ක්ෂූද්‍ර යාන්ති‍්‍රක හැදෑරීම් මේවන විට සිදුකරනු ලබයි.

“මෙම මූලද්‍රව්‍යවල භෞතික හා රසායනික ලක්‍ෂණවල නිරවද්‍යතාව අනුමාන කිරීම මගින් අභ්‍යවකාශ යානා මෙන්ම සූර්ය රුවල් සහ වායුතල බමර වැනි ඉංජිනේරු විද්‍යාවේදී යොදාගනු ලබන සැහැල්ලූ උපාංග නිෂ්පාදනය සඳහා අනාගතයේදී බෙහෙවින් ප‍්‍රයෝජනවත් වෙනවා.

ශූන්‍ය ගුරුත්ව තත්ත්ව සහිත විද්‍යාගාරවල නිර්මාණය කර පර්යේෂණ මෙහෙයවීම අතිශය දුෂ්කර, මිලාධික මෙන්ම බොහෝ සෙයින් කාලය මිඩංගු වන කටයුත්තක් බැවින් මෙම ව්‍යුහ පිළිබඳව සොයාගැනීම් සහ නිර්මාණ එළිදැක්වීමට වර්තමාන පර්යේෂකයන් පසුගාමී තිබෙනවා. එබැවින් පරිගණක උපයෝගී කරගෙන මෙම ව්‍යුහ ආකෘති පරීක්‍ෂා කිරීම මීට කදිම විකල්පයක්.

විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ප‍්‍රථම ස්ථානය ලබා සිටින ඇමෙරිකාවේ කැලිෆෝනියා තාක්‍ෂණ අධ්‍යනායතනයෙහි මහාචාර්ය සර්ජියෝ පෙලග‍්‍රිනෝ සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක්ම මෙම පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතිනවා. මෙය ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්‍ෂණ දියුණුව සඳහා ගනු ලබන දැවැන්ත පියවර වන අතර බහු පරිමාණ නිරූපණය සඳහා අධික ඉල්ලූමක් පවතින බැවින් මෙම පර්යේෂණය තුළින් ඉංජිනේරු සමාගම ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවේ. එමෙන්ම ලංකාවේ ඇති මිනිරන් පතල් නිවැරදිව භාවිත කිරීම තුළින් රට තුළ සිමෙන්ති පරිභෝජනය අඩු කිරීමට හැකියාව ලැබේ. මෙම පර්යේෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ ජාතික පර්යේෂණ සභාව මගින්” යැයි මල්ලිකාරචිචි මහතා පැවැසීය.

Dr Experiments2 IMG_1293 Origami_based_solar_sail_simulation