පසුගිය පෙබරවාරි 20 වැනිදා සිට කල්තොට දියවින්න උඩුපියන් ගල් ලෙනෙහි සිදුකරන පුරාවිද්‍යාත්මක කැනීම් මගින් ශ‍්‍රී ලංකාවේ ජීවත් වූ දඩයම් යුගයේ මානවයා ක‍්‍රමයෙන් ගොවි යුගයකට අවතීරණය වූ සැටි පෙන්නුම් කෙරෙන ඉතා වැදගත් තොරතුරු රැසක් මේවනවිට අනාවරණය වී ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වා දෙයි.
ලංකාදීප පුවත්පතට මේ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ඒ මහතා මේ බව පැවසූවේ අප එහි සිදුකළ සංචාරයකදී ය. මෙරට මානව ශිෂ්ටාචාරයේ සංක‍්‍රාන්තික දියුණුවක් පිළිබඳ සාක්‍ෂි ගොණු කිරීමේ වසර 15ක පමණ පර්යේෂණ කටයුත්තක 9 වන වසර මේ වනවිට තමන් ගත කරමින් සිටින බවත් මේ දිනවල කැනීම් සිදුකරන මෙම උඩුපියන් ගල්ලෙන එහි එක් අවස්ථාවක් බවත් සඳහන් කළ රාජ් සෝමදේව මහතා මෙහිදී සෝයාගත් දේ ඇසුරින් ඉතා වැදගත් තොරතුරු රැුසක් අපට හෙලි කළේය.
මෙහිදී සොයාගත් දෑ අතර බිම් වීදුරු ගල්, නියන් ආයුධ, උල් ආයුධ, සත්ව දත්, අශ්ථි උල් ආයුධ, පැවති අතර ආහාරයට ගත් බෙල්ලන්ගේ කොටස්, පිළිස්සුණු ධාන්‍ය ඇට වර්ග හමුවීම ද විශේෂත්වයකි. මේ මොහොතවන විටත් කැනීම් සිදුවන මෙම ලෙන් පරිශ‍්‍රය තුළින් මතුවන යටගියාව පිළිබඳ මහාචාර්ය රාජ් සොම්දේව මහතා අපට පැවසූයේ මෙවන් දීර්ඝ අදහසකි.
‘අපි මේ පර්යේෂණය කරන්නේ හුදෙක් බළන්ගොඩ මානවයා ගැන සෙවීමට කියල ඇතැම් මාධ්‍ය අනාවරණය කිරීම වැරදියි. මේ රටේ අවුරුදු එක්ලක්‍ෂ විසිපන්දාහක (1,25,000) පමණ කාලයක් තිස්සේ ජීවත් වෙච්චි ඒ ගල් යුගයේ මිනිස්සු කවදද අපේ දියුණු ඉතිහාසයක් දෙසට දියුණු සංස්කෘතියක් දෙසට නැමියාවක් ලබාගෙන පරිවර්තනය වුණේ කියන එකයි වැදගත්. අපි කවුරුත් දන්නෙ බළන්ගොඩ මානවයා කියන පොදු නමින් හඳුන්වන ඒ පරණ මිනිස්සු කැලයට වෙලා සත්තු මරාගෙන කෑ බව. එතකොට ඔය අල වර්ග හාරගෙන ගෙඩි වර්ග හොයාගෙන කෑ බව.
නමුත් අපි විශ්වාස කරනවා යම්කිසි කාලෙක ඒ ගොල්ලන් ඒ දඩයම අඩු කරලා තැන් තැන්වල ඇවිද ආහාර එකතු කරන එකත් අඩු කර ඒ වෙනුවට ධාන්‍ය වර්ග, කැලේ ඉබේ හැදෙන වල් වී වර්ග, නොයෙක් වල් තෘණ වර්ගවල ඇට ගෙනල්ලා ඒ ඇට පරිහරණය කළ බව. ඒවා කන්න පුරුදුවෙන්න යම් කිසි පෙළඹවීමක් ලබා ගත්තාය කියල. ඕනෑම සමාජයක් ඒ විදියට ශාක ආහාරවලට පරිවර්තනය වෙන කොට ඒක තමයි ඒ සමාජයේ ශිෂ්ටාචාරයේ මුල හැටියට සලකන්නෙ. එතැනින් තමයි ඒ ගොල්ලන් ගොවියන් බවට පරිවර්තනය වෙන්න ඕනෑකරන පළමුවැනි නැම්ම ලබාගන්නෙ. ඉතින් මේ පර්යේෂණ ව්‍යාපෘතිය කරන්නේ මෙතන බළන්ගොඩ මානවයා ඉන්න ඇති කියන බොහොම සරල කතාවක් කියන්න නෙවෙයි’
‘අපි දන්නවා බළන්ගොඩ ප‍්‍රාග් ඓතිහාසික මානවයා මෙහි හිටපු බව. නමුත් අපි ඊට වඩා විශේෂ ප‍්‍රශ්නෙකට උත්තර හොයනවා. ඒ මොකක්ද?, කොයි කාලෙදී ද මේ දඩයක්කාරයන් ගොවියන් බවට පරිවර්තනය වෙන්න අවශ්‍ය මූලික වෙනස්කම ඇතිකර ගත්තේ, ඒකට බලපෑ හේතු මොනවද ඒ ප‍්‍රශ්න විසඳන එක ඉතා වැදගත්. මොකද අපි හිතාගෙන ඉන්නව, අපිට කියල දීල තියෙනව ඉතිහාසයෙන්, අපි කෘෂිකර්මය වී වගාව පටන්ගත්තේ ඉන්දියාවේ අභාෂයෙන් කියල. නමුත් අපිට පේනවා අපි ඉළුක්කුඹුරේ කළ කැනීම්වලදී (2015 වර්ෂයේ) අපට වල් වී වර්ග හම්බවුණා, ගල් මෙවලම් සමග. ඒවා කාල නිර්ණය කළා අපි ඇමරිකාවට යවා. ඒවා අවුරුදු 6350ක් පරණයි. එතකොට මේ රටේ හිටපු දඩයක්කාරයන් අවුරුදු 6350ක් එපිට කාලයකදී මේ කැලෑවල තිබුණු වල් වී වර්ග, වල් ඇට වර්ග, කන්න පුළුවන් දේ පුළුස්සා කන්න පටන් ගත්තා. ඒ ගොල්ලන් තමයි ඒ දේශීය දැනුම දීමට මහන්සි ගත්තෙ. ඉතිං අපි දැන් හොයල බලන්නේ, ඇයි දඩයක්කාරයන් එහෙම වෙනස් වුණේ, දිගටම දඩයමේ ම යෙදිල ඉන්නේ නැතිව ඇයි ශාක ආහාරවලට වෙනස් වුණේ? ඒ කාලය මොකක්ද, එහෙම වෙනස් වෙන්න හේතු මොනවද? ඒ ගොල්ලන් කාපු මුල්ම ධාන්‍ය වර්ග මොනවද? ඒ වගේ සංකීර්ණ ප‍්‍රශ්නෙකට උත්තර සොයන්නයි අපි මේ කැනීම කරගෙන යන්නෙ. දැන් අපිට සාර්ථක ප‍්‍රතිඵල ලැබි තියෙනවා. අපිට ඉළුක්කුඹුර ප‍්‍රදේශයේ දී හම්බවුණා පිළිස්සුණු ධාන්‍ය වර්ග, ඉළුක්කුඹුර තියෙන්නේ බළන්ගොඩ තෙත් දේශගුණික කලාපයේ. ඊට පස්සේ අපි මෙතනට ආවා.
මේ බළන්ගොඩ වියළි දේශගුණ කලාපයත් තෙත් කලාපයේ සිද්දවෙච්ච දේම වියලි කලාපයේත් සිදුවී තිබෙනවා. ඒ සිද්ධවෙච්ච ආකාරයෙන් අපිට පේනවා මේ මිනිස්සු ප‍්‍රාදේශීය වශයෙන් තිබිච්ච ආහාර සම්පත්වලට අනුවර්තනය වී තිබෙන බව. ඉළුක්කුඹුර ප‍්‍රදේශය ගත්තාම වැඩිපුර තියෙන්නේ දික්කැකුණ ඇට එතකොට සත්ව ආහාර විදියට කුඩා සත්තු මීමින්නෝ උණහපුළුවා වගේ සත්තු කුරුල්ලන් වැනි සතුන් තමයි දඩයම් කර තියෙන්නෙ. දැන් අපි මේ උඩුපියන් ගල්ගෙට ආවම ලොකු සතුන් මරනවාට වැඩිය ඒ ගොල්ලො වැඩි ප‍්‍රියමනාප භාවයක් දක්වලා තියෙන්නේ ගොළුබෙල්ලන් ආහාරයට ගන්න. මොකද මේ දිය කඩිතිවල ගස් ගොළුබෙල්ලො, මිරිදිය ගොළුබෙල්ලො ඕනෑතරම් ඉන්නව. මේ ගොල්ලන් දඩයම් කරනවාට වැඩිය ගොළුබෙල්ලන් කන්න රුචිකත්වයක් දක්වා තිබෙන්නේ පහසුවෙන් ලබාගන්න පුළුවන් නිසයි. මුවකු දඩයම් කරන්න ගියාම පස්සෙ එළවන්න ඕනෑ. උගුල් අටවන්න ඕනෑ. හරි කරදරයි. බෙල්ලාගේ ඇට නෑ බොහොම පහසුවෙන් ගලවා ඇවිත් පුළුස්සන් කන්න පුළුවන්. ප්‍රෝටීන ප‍්‍රමාණය වැඩියි. ඉතිං මේ ගොල්ලන් මෙහෙදි ඒකට රුචිකත්වයක් දක්වා තිබෙනවා’
‘ඉතිං අපි රටට කියන්න යනවා අපේ ඉතිහාසය සකස් වුණේ කොහොමද කියල. අපේ මිනිසුන් ප‍්‍රාදේශීය වශයෙන් සම්පත් පරිභෝජනය කළා. ඒක තමයි අපේ ආර්ථික ආකෘතිය. මෙයින් අපිට ගන්න පාඩම් තියෙනවා. මේක අදට වුණත් අපිට කරන්න පුළුවන් දෙයක්. ඇයි ප‍්‍රාදේශික තියෙන සම්පත් වලින් අපිට ජීවත් වෙන්න බැරි.’’
‘‘ඉතිං ඒ නිසා අපි මේ කරන පර්යේෂණය එක් පැත්තකින් ඉතිහාසය අර්ථ ගැන්වීමක්. අනෙක් පැත්තෙන් ඒ දැනුම වර්තමානයට ප‍්‍රයෝජනය ගැනීමත් එහෙම නැත්නම් අපි ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන ව්‍යාපෘතියක් හැටියට තමයි අප මේ කැණීම් කන්නේ. දැන් අපි අවුරුදු 09ක් තිස්සේ මේ වැඩ කරගෙන එනව. අපිට මේ අවුරුද්දේ තව කැනීම් දෙකක් කරන්න තියෙනව. පනාන ඉළුක්කුඹුර පරගහමඩිත්ත ගල්ගේ සහ අළුගල්ගේ කියන ගල්ගෙවල් දෙක. අපි ජූනි මාසයේ කැනීම් දෙක සැලසුම් කර තියෙනවා. මේවා අපිට වියදම් අධික වැඩ. මේකට ජාතික විද්‍යා පදනම ප‍්‍රතිපාදන වශයෙන් උදව් කරනව. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලය ප‍්‍රතිපාදන ලබා දෙනව. ඒ ආධාර යටතේ අපි මේ පර්යේෂණ කටයුතු ඉදිරියට කරගෙන යනවා.’’
මෙම ගල් ලෙනෙහි වසර 5000 ත් 4500ත් අතර කාලයේ මිනිසුන් ජීවත්ව සිට ඇති බවත් ඔවුන් ශ‍්‍රී ලාංකීය මානව ශිෂ්ටාචාරයෙහි නියම උරුමක්කාරයින් වන බවත් මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.
‘‘හිතන්න. අපේ ශිෂ්ටාචාරය කවුරුත් අපිට ගෙනැත් දීපු එකක් නෙවෙයි. අපිම ඒ දැනුම ගොඩනඟා අපම එය වර්ධනය කර අපමයි ඉදිරියට අරන් ගියේ. අපි හල්දුම්මුල්ලෙන් සොයා ගත්තා යකඩ උණු කිරීම පිළිබඳ ලෝකයේ පැරණිතම සාක්කි. මීට අවුරුදු 4400 කට ඉහත දී අපි යකඩ උණු කර තියෙනවා. හුඟාක් කතා අපිට කියන්න තියෙනව. ඒ කතා සියල්ලක්ම මේ රටේ ශිෂ්ටාචාරය ඇතිවීම පිළිබඳ වෘතාන්තයට අදාල දේවල්. සංක‍්‍රාන්තික දියුණුවක් පිළිබඳ සාක්කි ගොනු කිරීමේ ව්‍යාපෘතියකයි අපි මේ නියැලි ඉන්නේ.’’
අනූෂා වන්නිනායක, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහකාර දිනේෂ් හේවගේ, ලක්මාල් වතුයාය හා ලලීන්ද්‍ර සන්නස්ගල පර්යේෂණ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝය.
ඉතා දුෂ්කර අවදානම් සහිත ගමන් මාර්ගයක් ඔස්සේ මෙම උඩුපියන් ගල් ලෙන සොයා දියවින්න රක්‍ෂිත වනාන්තරය මධ්‍යයට ගමන්කළ අපි මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පර්යේෂණ කණ්ඩායම දැඩි අපහසුතා මධ්‍යයේ මෙම කටයුත්ත සිදුකරන අයුරු දැකබලා ගතිමු. මෙම චාරිකාවට කල්තොට ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී බුදුගල සෝමරතන සහ කල්තොට ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වැලිපත සුමනරතන හිමිවරු ද සහභාගී වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ පර්යේෂණ සියලු ආකාරයෙන් සාර්ථක වේවා. (අ)
මහාචාර්ය තුමනි , ඔබගේ උත්සාහය ඉතා අගය කොට සලකමි. මෙය ශ්‍රී ලාංකිකයන් වන අපි විසින් කළ යුතුම එහෙත් පර සුද්දන සහ කළු සුද්දන් විසින් යටපත් කරන ලද මාතෘකාවකි (අ)
කුරගල කරපු කැනීම් වල වාර්තාව තාම පළකළේ නැත්තේ ඇයි ? (අ)
අපිට අපේම විකාශනය සිදු වූ හැටි දැනගන්න තියෙන්නේ පුදුම ආශාවක් සහ කුතුහලයක්. මුදල් පසුපස හඹායන සමජයක අපි අද හිටියට එදා යුගයේ අපි ලැබෙන දෙයක් කාලා අල්පේච්ඡ ජීවිතයක් ගත කළා (නි)
ඔය විස්තර ඔක්කොම දාලා පොතක් ලියලා පාසල් වලට උගන්වන්න දෙන්න. හැම භාෂාවකටම පරිවර්තනය කරන්න. (නි)
මෙවැනි බුද්ධිමතුන් හරියට ආහාරයක් නැතුව නින්දක් නැතුව කැලේට ගිහින් රටට මිනිසාට වැදගත් පරීක්ෂණ කරනවා. තවත් සමහරු කොළඹ පෙළපාලි යනවා, උද්ඝෝෂණ කරනවා (නි)
අපිට ආඩම්බරයි. ඔබට සුබපැතුම්! (නි)
මොහොමඩ්, අපේ අය කියලා කිවුවෙ කවුරු ගැනද? ආසයි දැනගන්න (නි)
මහාචාර්යතුමනි, ඔබ තුමා වැනි අය රටට සම්පතක්. නිධන් හොරුන්ට ඉඩ නොතියා, සොයාගත් ස්ථාන වලට ආරක්ෂා විදිවිධාන යොදවන්නත් හිතුවොත් උතුම් දෙයක්. ඉතිහාසය අලුතින් ලියන්නත් ඔබතුමාගේ සොයාගැනීම් මුල්වෙන්න ඉඩ තිබෙනවා. ඉදීරියටම යන්න. ඔබට සුබ පැතුම්! (නි)
මේවා එච්චර පුදුම වෙන්න දේවල් නොවෙයිනේ. (ර)
අපේ අයගෙත් සම්බන්දතාවයක් ඇති. (බ)
දැන් ඉන්න දේශපාලකයන්ට මේ ගැන කිසිම උවමනාවක් නෑ . ඉතිහාසයක් නැති රටවල් ඔහුන්ගේ මවාගත්තු ඉතිහාසය සාදරනයකිරීමට දරන කාලේ, තරුණ පරපුරට මේගැන අවබෝදයක් දීලා අපේකම මොකද්ද කියල උගන්විය යුතුය. (ර)
රාවණාගේ දඬු මොනරයේ සුක්කානම වාරියපොළ පරණ යකඩ බඩු කඩේක තිබිලා අපේ හෙලහවුල් කාරයෙකුට හබවුනාලු කියනවා නේද?(අ)