ලංකාවට ආවේණික පාරම්පරික ශාක 10 ක් උපයෝගී කරගෙන පියයුරු පිළිකා සරල සෛල (විශේෂ සෛල වශයෙන් නොසැලකෙන නමුත් විවිධ සෛල හටගැන්වීමේ ශක්තිය ඇති සරල පිළිකා සෛල) නැසීමට හැකියාව ඇති රසායනික ද්‍රව්‍යයන් සෙවීමේ කාලීන පර්යේෂණයක් කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මේ වන විට සිදුකරමින් පවතී.

ජෛව රසායනික අණුක ජීවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙර්.

පිළිකා සරල සෛල නැසීමට සමත් ඖෂධයක් තවමත් ලෝකයේ සායනිකව භාවිත නොවන අතර ඇමෙරිකාව, ජර්මනිය, ජපානය වැනි දියුණු රටවල පිළිකා පියවි සෛල පිළිබඳ පර්යේෂණ තවමත් සිදුකරමින් පවතී. දැනට පවත්නා ප‍්‍රතිකාර ක‍්‍රම මගින් පිළිකා පියවි සෛල විනාශ කළ නොහැකි අතර මෙම පර්යේෂණයේ විශේෂත්වය වන්නේ අති දියුණු තාක්ෂණයක් තුළින් පිළිකා පියවි සෛල විනාශ කිරීම සඳහා ලංකාවේ පර්යේෂණ සිදුකරන ප‍්‍රථම අවස්ථාවද මෙය වීමය.

‘පියයුරු පිළිකාව ලෝකයේ මෙන්ම ලංකාවේද වැඩි කාන්තාවන් පිරිසක් පෙළෙන සහ වැඩිම කාන්තාවන් සංඛ්‍යාවක් පිළිකා ආශ‍්‍රිතව මරණයට පත්වෙන පිළිකා වර්ගයයි. දැනට පිළිකා රෝගින්ට ලබාදෙන ඖෂධ, හෝමෝන සහ විකිරණ ප‍්‍රතිකාර අපේක්ෂිත මරණ මට්ටම අවම කිරිමට අපොහොසත් වි ඇති අතර අයහපත් අතුරුඵල ඇතිකිරිමටත් හේතුසාධක වි තිබෙනවා. දීර්ඝ කාලිනව ප‍්‍රතිකාර ලබන රෝගින්ට ඖෂධ තුළින් අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබෙන අතර රෝගීන් තුළ ප‍්‍රතිරෝධතාවක් ඇති කිරීමට සමත්වී තිබෙනවා. එබැවින් විපල්ප ඖෂධ කාලින අවශ්‍යතාවක් වි තිබෙනවා. එබැවින් අපි ජාතික පර්යේෂණ සභාවේ මුල්‍ය දායකත්වය ඇති මෙම පර්යේෂණය ආරම්භ කළා’

‘මේ සඳහා මහාචාර්ය කමනි එච්. තෙන්නකෝන්, මහාචාර්ය දිලිප් ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය කනිෂ්ක ද සිල්වා යන මහත්ම මහත්මින්ගේ සහයෝගය මෙන්ම පශ්චාත් උපාධි අපේක්ෂිකා උමා රාජ්ගෝපාලන් ශිෂ්‍යාවගේ දායකත්වයද ලැබෙනවා.‘

මෙම පර්යේෂණයෙන් පිළිකා පියවි සෛල විනාශ කරමින් පිළිකා මර්දනයට භාවිත කළ හැකි රසායනික ද්‍රව්‍ය සොයා ගැනීම තුළින් විදේශ ආයෝජකයන්ගේ ආකර්ශනය ලංකාව දෙසට යොමු කරගත හැකි වෙනවා. එමෙන්ම ලංකාවේ පාරම්පරික ඖෂධ සඳහා විද්‍යාත්මක පදනමක් ඇති කිරීමටත් පිළිකා හේතුවෙන් රජයට වසරකට වැය වන මුදල අවම කරගැනීමටත් අත්වැලක් වේ යැයි අපි විශ්වාස කරනවා. එමෙන්ම දැනටමත් සිදුකර ඇති පර්යේෂණවලින් පියයුරු පිළිකා රෝගීන්ට සතුටු දායක පිළිතුරක් ලබාදීමට හැකිබවද අපට තහවුරු වී තිබෙනවා’ යැයි සමරකෝන් මහතා පැවසීය.

Dr.-Sameera2016316 Dr.-Sameera2016316-2 Dr.-Sameera2016316-3 Dr.-Sameera2016316-4