ළදරු අවධියේ සංකූලතා ඇතිකිරීම, ලේ අඩුකම, අධික රක්තානු විනාශය සහ වකුගඩු අකර්මන්‍යතා ඇති කරන ග්ලූකෝස් 6 ෆොස්පේට් ඩිහයිඩ‍්‍රජනේස් (ජී6පීඩී) එන්සයිම ඌණතාවයේ ජානමය විකෘතිතා හඳුනාගැනීමේ පර්යේෂණයක් මේ වන විට කොළඹ වෛද්‍ය පීඨයේ සිදුකෙරමින් පවතී.

පරපෝෂවේදී අංශයේ මහාචාර්ය ශාමිණී ගුණවර්ධන මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර ජාතික පර්යේෂණ සභාව මීට මූල්‍ය දායකත්වය සපයයි.

මෙය ලොව බහුලවම දක්නට ලැබෙන එන්සයිම ඌණතාව වන අතර ලොව පුරා මිලියන 400 කට අධික පිරිසක් මේ තත්ත්වය හේතුවෙන් පීඩා විඳිති. ජී6පීඩී එන්සයිමය හා සම්බන්ධ ජානය පිහිටා ඇත්තේ  x වර්ණදේහය මතයි. දැනට මෙම ජානයේ විකෘතිතා අවම වශයෙන් 186 ක් පමණ හඳුනාගෙන ඇත. 

“ලංකාවේ මෙම ජී6පීඩී එන්සයිම ඌණතාවය පිළිබඳ දැනුම ඉතා අල්පයි. මේ පිළිබඳව අපි සිදුකල මූලික පර්යේෂණයන්ට අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජනතාවගෙන් 14%ක් පමණ මෙම ඌණතාවයෙන් පෙළෙන බව සොයා ගැනීමට හැකිවුණා. එහෙත් ලංකාවේ මෙම ඌණතාවයට අදාළ ජාන විකෘතිතා මොනවාදැයි මෙතෙක් සොයාගෙන නැහැ.”

“ප‍්‍රිමාක්වින් සහ ඩැප්සොන් වැනි ඖෂධ වර්ග ගැනීමේදි මෙම ඌණතාවය ඇති පුද්ගලයින් තුළ රක්තානු විනාශවීමක්  සිදු විය හැකි අතරල මෙම ඖෂධවලින් සුව කෙරෙන මැලේරියාව සහ ලාදුරු රෝග මෙරටින් තුරන්කිරීමේ උත්සාහයන්ට එය බලපාන්න පුළුවන්. නවතම පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ වකුගඩු රෝගීන් අතර මෙම එන්සයිම ඌණතාවය බහුල බවයි. ඒ අනුව ජී6පීඩී ඌණතාව හා වකුගඩු රෝග අතර යම් සබඳතාවක් තියෙන්න පුළුවන්.”

“ජී6පීඩී ඌණතාවට කුමන විකෘතිතාවල බලපෑමක් ඇත්දැයි සොයාගැනීම ඉතා වැදගත් වන අතර ජාන විකෘතිතා සහ එන්සයිම ඌණතාව අතර ඇති සබඳතාව හඳුනාගැනීමෙන් ඊට අදාළ සංකූලතා පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට එම දත්ත ඉවහල් වෙනවා.’’ යැයි මහචාර්ය ගුණවර්ධන මහත්මිය පැවැසීය.

Pictures-1 Pictures-2 Prof-Shamini