IMG-LOGO

සුළු ජාතීන් වෙන්දේසියේ දමන පක්ෂ නායකයෝ

මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70කි. මෙයින් බහුතරයක් දේශපාලන පක්ෂ සුළු ජාතික පක්ෂ වේ. සුළු ජාතික පක්ෂ යනු සුළු ජාතික ජනයා නියෝජනය කිරීම සඳහා පිහිටුවා ගත් පක්ෂ වේ. උතුරේ දෙමළ දේශපාලන පක්ෂ, නැගෙනහිර මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම වතුකරයේ දෙමළ ජනයා නියෝජනය කරන දේශපාලන පක්ෂ මේ අතර ප්‍රධානය. මෙසේ සුළු ජාතික පක්ෂ සංඛ්‍යාත්මකව විශාලවීම රටේ දේශපාලන අර්බුදවලට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.

සුළු ජාතික පක්ෂයකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට ගත යුත්තේ සියයට පහකි. විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළ, සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රී ධුරයක් සඳහා අවශ්‍ය නිර්ණායකය ලෙස හඳුන්වා දී තිබුණේ සියයට 12.5කි. එබඳු නිර්ණායකයක් හඳුන්වා දී ඇත්තේ වර්තමානයේ අත්විඳිමින් සිටින දුර්විපාක වළක්වාලීමේ අරමුණෙනි. එහෙත් 1989දී එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා එම නිර්ණායකය සියයට 5 දක්වා පහත හෙළුවේය. සුළු ජාතිකයන්ට වැඩි අවස්ථා නිර්මාණය කිරීම සඳහා එසේ ප්‍රකාශ කළ ද ඇත්ත හේතුව නම් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වීමය. සුළු ජාතිකයන්ගේ සහායෙන් ආණ්ඩු පිහිටුවා ගැනීම එහි ප්‍රධාන අරමුණය.

එය ආකාර ගණනාවකින් අහිතකර ප්‍රතිඵල අත්කර දී තිබේ. සමාජයක් වශයෙන් එක්ව පොදු ප්‍රශ්නවලට උත්තර සෙවීම වෙනුවට තම තමන්ගේ ජාතිකත්වයට බලපාන විශේෂ ගැටලු ඇති බව සඳහන් කරමින් එම ජනයා කිසියම් රාමුවකට කොටු කිරීමය.

තම තමන්ට විශේෂිත වූ ගැටලු නොවූවද තම නායකයන් එසේ ප්‍රකාශ කරනවිට සාමාන්‍ය ජනයාට ද තමන්ට ආවේණික විශේෂ ප්‍රශ්න ඇතැයි සිතෙන්නට ඉඩ තිබේ. ඒ අනුව එම ජනයා කටයුතු කරති. එහි තාර්කික අන්තය 2009 වසරේ මැයි මස 18 වැනිදා වෙල්ලමුල්ලිවයික්කාල්හිදී මුළු රටටම ප්‍රදර්ශනය විය. උතුරේ තරුණයා තමන්ට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවට ප්‍රකාශ කරමින් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ බවට පත් වෙමින් තම වර්ගයාම ඇඳිවත පමණක් උරුමකම් කියන පිරිසක් බවට පත් කරමින් එම සංග්‍රාමය නිමා විය.

උතුරේ තරුණයාට වෙනම රාජ්‍යයක් අවශ්‍ය වූයේ නැත. එහෙත් එම තරුණයන්ගේ ඡන්ද ලබාගැනීම සඳහා එම තරුණයන්ගේ ඔළුවලට විවිධ විසකුරු මතවාද නායකයෝ රැගෙන ආහ. එම මතවාදවලින් මෝහනයට පත්ව එම නායකයන් පාර්ලිමේන්තුවට යැවීමට එම තරුණයෝ කටයුතු කළහ. තම අරමුණ ඉටුකර ගැනීමෙන් පසු සුඛෝපභෝගී ජීවිතයකට අවතීර්ණවන එම නායකයෝ තම වර්ගයා අමතක කරති. රැවටුණ ජනයා විනාශකාරී මාවතක හෝ ගමන් කරමින් සංකල්ප ජීවමාන යථාර්ථ බවට පත්කර ගනිති.

ප්‍රධාන දේශපාලන පක්ෂ ද එම සුළු ජාතික දේශපාලන පක්ෂවල සහයෝගය ලබාගැනීම සඳහා බොහෝ පොරොන්දු ලබා දෙති. ඊළඟ පරම්පරාව ඉලක්ක නොකරන ඊළඟ මැතිවරණය පමණක් ​ඉලක්ක කරන දේශපාලන නායකයන්ට අවශ්‍ය වන්නේ මොනයම් ක්‍රමයකින් හෝ තම බලය තහවුරු කර ගැනීමටය. ඒ සඳහා ප්‍රසිද්ධ ගිවිසුම් මෙන්ම අප්‍රසිද්ධ හෙවත් රහස් ගිවිසුම් ද තිබෙන බව දේශපාලන ලෝකයට රහසක් නොවේ.

සුළු ජාතික පක්ෂවල සහයෝගය නොලබා බලය තහවුරු කර ගැනීමට නොහැකි බව පැහැදිලි වනවිට සුළු පක්ෂවල නායකයෝ ද තම ඉල්ලීම් තම සීමාවෙන් ඉවතට ද පැමිණ ඉදිරිපත් කරති. එම ඉල්ලීම් ඉටු කරන ලෙස ඔවුහු නොනැවතී බලපෑම් කරති. ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් වෙනත් පාර්ශ්වයකට සහාය දෙන බවට තර්ජනය කරති.
ඉහත තත්ත්වය චක්‍රයකි. මෙයින් කිසිදු ජනවර්ගයකට අත්වන සෙතක් නැත. එහෙත් එම ජනයා නොදන්නා කාරණයක් තිබේ. එනම්, තමන් විකිණී ඇති බවය. තමන් වෙන්දේසියේ තබා නායකයන් තම පැවැත්ම සරිකර ගන්නා බවය. එමෙන්ම පීචං ජාතිවාදී දේශපාලනයෙන් තමන්ට පරාජය හා විනාශය රැගෙන එන බවය.

සිය වර්ගයා වෙන්දේසියේ දමා බොහෝ පහසුවෙන් ආදායම් උපයාගත හැකි බව පැහැදිලි වූ විට එකම පක්ෂයේම පිරිස් ද කැඩි කැඩී යමින් වෙන වෙනම පක්ෂ හදා ගනිති. සුළු ජාතික පක්ෂ හතු පිපෙන්නාක් මෙන් බිහිවන්නේ ඒ අනුවය. ඒ ඒ ජනයාට විශේෂිත වූ ප්‍රශ්න වෙනුවට එම සියලු ජනයාට බලපාන පොදු ප්‍රශ්නවලට කල් පවත්නා හා දියුණු විසඳුම් සැපයෙන දේශපාලන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. එසේ නොවනතාක් කිසිදු ජාතිකත්වයකට අත්වන සුගතියක් නැත.



අදහස් (0)

සුළු ජාතීන් වෙන්දේසියේ දමන පක්ෂ නායකයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site