IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


සමගියෙන් සමාදානයෙන් නත්තල අර්ථවත් කරමු

මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා මෙලොව ජනිත වූ දේව පුත්‍රයාණන්ගේ එම අතිරමණීය කිතු උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල හෙට උදාවේ. දේව භක්තිය පෙරදැරිව අසිරිමත් නත්තල සමරණ ලොව පුරා වෙසෙන සහස් සුවහස් කිතුණු ජනයා සමග ශ්‍රී ලාංකික ජනයාද ඉමහත් උද්දාමයෙන් යුතුව අත්වැල් බැඳ ගනිති. එකී ආගමික සහජීවනය රට පෙළමින් තිබෙන සියලු දුක් කරදර දුරු කරන මහා මිනිස් මෙහෙයුමට  ශක්තිය දිරිය හා බලය රැගෙන ඒමට සමත් වේවා යන්න ලංකාදීපයේ නත්තල් ප්‍රාර්ථනය වේ.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ යනු මානව වර්ගයාගේ ගැලවුම්කරුවාය යන්න කිතුණු බැතිමතුන්ගේ විශ්වාසය හා පිළිගැනීම වේ. ඒ ගැලවුම්කරුවානන් උපත ලැබුවේ හෙරොද් රජ දවසේ බෙත්ලෙහෙමේ ගව මඩුවකය. ඉසුරින් පිරුණු සුවිසල් මැදුරක් දේව උපත වෙනුවෙන් තෝරා නොගෙන දිළින්දන්ගේ දිවි ගැට ගැසූ ගව ලෙනක් තෝරා ගනු ලැබුවේ අද මෙන්ම එදාද මානව සමාජයේ සාතිශය බහුතරයක් ජනයා දිළිඳු බවේ ගිලී සිටිය හෙයිනි. එහෙයින් එම ජනයා අනේකවිද  දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරුව සිටි හෙයිනි. ඒ ජනයාගේ ගැලවුම්කරුවා බිහි විය යුත්තේ එම ජනයා අතරින්මය. ඒ ජනයාගේ හෘදස්පන්දනයට සවන් දිය හැකි වන්නේත් ඒ ජනයාගේ ආධ්‍යාත්මයට සමීප විය හැක්කේත් එවිටය. දේව උපත වෙනුවෙන් දිළිඳු ගව ලෙන තෝරා ගැනීමේ නිහඬ සංඥාව එයට හිමි සැබෑ පැහැයෙන් හඳුනා ගැනීමට උත්සාහ කළ යුතු මොහොතක මෙවර නත්තල උදාවී තිබේ.

මුළු මහත් රටම ගැලවුම්කරුවකු සොයමින් ප්‍රාර්ථනා කරමින් සිටින දවසක් බවට අද දවස පත්ව තිබේ. තෙවසරක් පුරා මෙරට ජනයා නොවිඳිනා දුක් විඳිමින් සිටිති. ආර්ථික අර්බුදය දිනෙන් දින තියුණු වෙමින්  තිබේ. නව වසරේ අලුත්  පංතියට ඇඳගෙන යාමට අලුත් ඇඳුමක්, අලුත් සපත්තු කුට්ටමක්, අලුත් පොත්පත් හා පාසල් උපකරණ මිලදී ගත නොහැකිව  බහුතරයක් දරුවෝ වේදනාවෙන් පසුවෙති. ඒ දරුවා බිලි ගැනීමට අයිස් මාරයා පාසලේ දොරටුවෙන් ඇතුළටම  පිවිස සිටී. රටේ අනාගතය සම්බන්ධයෙන් භීතියක් ජනිත කර  ඇති මෙම ශාපලත් පරිසරය තුළ ගැලවුම්කරුවකුගේ පිහිට  පිළිසරණ අයදිනු විනා අන් මගක් ඉතිරිව නොමැති සෙයකි. මෙබඳු තත්ත්වයක් නිර්මාණය වීමට බලපෑ හේතු සාධක මොනවාද යන්න ගැඹුරු කතිකාවකට  සුදුසුම දිනය වන්නේද අසිරිමත් නත්තලමය.

මානව වර්ගයා දුකෙන් මුදා සදාකාලික සුවයක් වෙත රැගෙන යාමේ මාවත ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ හෙළි පෙහෙළි කළහ. එහිදී මානව වර්ගයාට ප්‍රේම කිරීම ඔවුනොවුන් වෙනුවෙන් කැපවීම අංක එක බව ජේසු චරිතයෙන් මනාව පැහැදිලි වෙයි. එය උන්වහන්සේ තම ජීවිතයෙන්ම ඔප්පු කළහ. එහෙත් මානව සමාජය ගමන් කළේ එම පූජාසනය අල්තාරය සහිත මාවතේ නොවේ. ධනය ජීවිතය යැයි සිතන අධිපරිභෝජනවාදී ජීවන රටාවකට  මිනිසා යොමු විය. බලය ජීවිතයේ අනුත්තර අරමුණ යැයි සිතන බලකාමී මිනිසෙක් බිහිවිය. ඒ වෙනුවෙන් දිග හැරෙන යුද්ධයක් මේ මොහොතේදී ද ලෝක පරිමාණයෙන් ක්‍රියාත්මකය.

අපේ රට තුළද තිස් වසරක් පුරා යුද්ධයක් ඇවිළී ගියේය. බඩගිනි සිංහයන් මෙන් මජර දේශපාලනඥයෝ ජාතික සම්පත් ජාතික දේපළ   විනාශ කළහ. ඒ වෙනුවෙන් ජාතිවාදී අරගල ඇති කළහ. ආගම්වාදී  ගැටුම් නිර්මාණය කළහ. පුරවැසියෝද ගැලවීමේ මාර්ගය අතහැර තමන්ට යමක් හිමිකර ගත හැකි නම් ඒ දෙය හිමිකර ගැනීම සඳහා අනවරත අරගලයක යෙදුනහ.

කරුණු කාරණා එපරිදි වුවද මෙවර  නත්තල උදාවන්නේ සෑම ජන කොටසකටම අයත් සෑම ආගමකට අයත් ජනයාට එක් පොදු සටනක් උරුමකර දෙමිනි. එම සටන නම් බඩගිනි නිමා ගැනීමේ සටනය. විමුක්තියේ මාවතෙන් බැහැර වී පැමිණි ගමනේ තාර්කික අන්තය මෙය විය. අන් යමක් නොවේ.

සීනු නාදයෙන් දසතම මිහිරියාවට ලක්වන මේ මොහොතේ පෙනහලුවලට අලුත් හුස්මක් ගෙන සියල්ලන්ම කල්පනා කළ යුතු වන්නේ මෙම ශාපලත් ඉරණම වෙනස් කිරීම සම්බන්ධයෙනි. එහිදී කිසිවකුට පෞද්ගලිකවම ලබාගක හැකි ජයග්‍රහණ නොමැත. ඇත්තේ සාමූහික ක්‍රියාදාමයකින් පොදුවේ අත්පත් කර ගන්නා ජයග්‍රහණ පමණි. ඒ වෙනුවෙන් කිතුණු  දහමේ බලවත්ව උගන්වන ප්‍රේමය පෙරදැරි කරගත් ජීවන රටාවකට අපි වහාම සීරුමාරු විය යුතු වෙමු. නත්තලේ අසිරිය ඔප් නැංවෙන්නේ සමගිය තුළිනි. සමගිය ගොඩනැගෙන්නේ සහජීවනය හා සමානාත්මතාව තුළිනි. මෙම ගුණාංග ඇවැසි මට්ටමෙන් වඩවා ගැනීමට ඔබ සමත් වන්නේ නම් ඔබගේ හදවත දෙවියන් වැඩ සිටින දෙවොලක් වීම ඒකාන්තය.

(***)



අදහස් (0)

සමගියෙන් සමාදානයෙන් නත්තල අර්ථවත් කරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1752 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1442 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site