මෙරට ආර්ථිකයට විශාල පීඩනයක් ගෙන දෙන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය පාර්ශවකරුවන්ට ගෙවිය යුතු අතිවිශාල ණය කන්දරාවෙන් අමෙරිකානු ඩොලර් කෝටි 51ක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කළේය. එම අතිවිශාල මුදල රුපියල්වලින් කෝටි 15,500කටත් අධික මුදලක් බවද සඳහන්ය. ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහකරණයෙන් ලැබෙන මුදලින් එම මුදල අයකර ගන්නා බවද අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය තවදුරටත් රටට බරක් නොවී පවත්වාගෙන යාමට රජය දරන උත්සාහය අගය කළ යුතුය. ඒ සඳහා ප්‍රතිව්‍යුහකරණයට යායුතු මෙන්ම එයට ශක්තිමත් ආයෝජකයකු ද අවශ්‍ය වේ. ආයෝජකයන් හිතුමතේ ගෙන්වා ගැනීමට ද හැකියාවක් නැත. රටට ජාතික ගුවන් සේවය කොතරම් වැදගත් වුවත් එය නඩත්තු කිරීම සඳහා රටේ ජනතාවගේ බදු මුදල් කෝටි ගණනින් වැය වෙනවා නම් ඒ වැදගත්කම ශුන්‍ය වෙයි. ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය ජනතාවගේ ප්‍රබල විරෝධයකට හසු නොවන්නේ එබැවිනි.
එහෙත් මෙහිදී සලකා බැලිය යුත්තේ ආයෝජකයකු ආකර්ශනය කර ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 15,500ක් වැය කිරීම කොතරම් සාධාරණ ද යන කාරණාවයි. විශාල ණය බරකින් යුත් ගුවන් සමාගමකට කර ගැසීමට කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වන්නේ නැත. ඒ අර්ථයෙන් ගත් කල අමාත්‍යවරයා කළ ප්‍රකාශය සත්‍යයකි. එහෙත් ශ්‍රී ලංකන් ආයතනයේ ණය බර මෙරට මහජනතාවගේ බදු මුදලින් ගෙවා දැමීමට ආණ්ඩුව තීරණය කිරීම සාධාරණ නැත. ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ තරම් පාඩු ලබන ආයතනයක් බවට පත්කිරීමට සම්මාදම් වූ කිසිදු නිලධාරියකුට හෝ දේශපාලකයකුට හෝ අත නොතබා ජනතාවගේ බදු මුදලට නොපැකිලිව අත තැබීමට තීන්දු ගැනීම ඔවුන්ගේ නොසතුටට හේතු වන බැවිනි. ශ්‍රී ලංකන් ආයතනය මේ තත්වයට ඇද දැමීමට මහජනතාව වගකිව යුතු නැත.
ඒ සමඟ ප්‍රශ්න කළ යුත්තේ ශ්‍රී ලංකන් ආයතනය ගොඩනැගීම සඳහා ඉදිරි මාස 06ක කාලය තුළදී ඩොලර් මිලියන 70ක් හෙවත් රුපියල් කෝටි 2100කට ආසන්න මුදලක් ලබාදෙන බවටත් එම කාලය තුළ ගුවන් සමාගමේ වියදම් අධික ලෙස පාලනය කරන බවටත් අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය විශ්වාස කළ හැකිද යන්නයි. රාජ්‍ය ආයතනවල පාඩු මැකීම සඳහා භාණ්ඩාගාරය පොම්ප කරන මුදල් බොහෝ විට නතර වන්නේ මකර කටේ බව අතීත ආදර්ශ මගින් පෙන්වාදී තිබීම ඊට හේතුවයි. අවසානයේ ඒ මුදලට සිදු වූ දෙයක් නැත. ගොඩගිය ආයතනයක්ද නැත.
ශ්‍රී ලංකන් ගුවන් සේවය දරන දැවැන්ත ණය බරින් කොටසක් රජය භාර ගතහොත් ශක්තිමත් ආයෝජකයකු සොයා ගැනීමට හැකියාව තිබෙන බවට අමාත්‍යවරයා විශ්වාසය පළකර තිබේ. එහෙත් එහිදී සිහිපත් කර දිය යුතු කාරණය වන්නේ ශ්‍රී ලංකන් ආයතනය ඉතා ශක්තිමත් ජාත්‍යන්තර ගුවන් සමාගමක් වන එමිරේට්ස් සමග එකතුවී කාලයක් ලාබ ලබමින් පවත්වාගෙන ගිය ආයතනයක් බවය. එසේ ද්විපාර්ශ්වික සමාගමක් වශයෙන් සාර්ථකව පවත්වාගෙන ගිය ගුවන් සේවය කඩාබිඳ දැමුවේ ඒ තුළට දේශපාලන තීන්දු බලෙන් එබීමට තැත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ හේතුවෙන් සමාගමේ ඉතා සාර්ථකව කටයුතු කරමින් සිටි ප්‍රධාන විධායක නිලධාරියා සේවය අතහැර ගියේය. ඉන්පසුව ගුවන් සමාගමේ පාලනය දේශපාලන වශයෙන් ඉතා සමීප ඥාතින් මිත්‍රාදීන් අතට පත්කරනු ලැබීය.
අද ශ්‍රී ලංකන් ආයතනය ඩොලර් කෝටි 51ක ණය කන්දරාවකට යටවී ආයෝජකයකු සොයා ගැනීමට පවා නොහැකි තත්වයට පත්වී ඇත්තේ එදා ගනු ලැබූ එම වැරදි දේශපාලන තීන්දු හේතුවෙනි. ඒ සෑම ආණ්ඩුවකම නිමල් සිරිපාල ද සිල්වා මහතා ද කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ බැවින් ඒ අතීතය යන්තමින් හෝ මතක ඇතැයි අපි සිතමු. එම වැරදි කළ නිලධාරීන් සහ ඒ සඳහා ආධාර සහ අනුබල දුන් දේශපාලකයන්ට එරෙහිව කිසිදු පියවරක් නොගෙන තිබියදී මෙසේ රටේ ජනතාවගේ බදු මුදලින් ශ්‍රී ලංකන් ආයතනයේ ණය බර ගෙවා දැමීමට කටයුතු කිරීම කොතරම් දුරට සාධාරණදැයි ආණ්ඩුවේ දේශපාලකයන් තම හෘදය සාක්ෂියෙන් විමසා බැලිය යුතු ය.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතනය තුළින් අදාළ ඇමැතිවරු මුල්වී එක් පවුලක් වෙනුවෙන් වංචා කරපු හැටි විදේශ ආයතන... එයාර්බස් සමාගම හෙළිවුණ ගත්තු පියවර කුමක්ද? හොරු එළවා රටින්ද පිටුවහල් කළහැකි පාලනයක් බිහිකරමු..
දැන් ඇමැති කියලා තියෙනවනේ ඩොලර් කෝටි 51 ප්‍රතිව්‍යුහගත කරණයෙන් ලැබෙන මුදලින් පියවා ගන්නවා කියලා. ඉතින් තවත් මොකද්ද මේ ජනතා බදු මුදල් නාස්තිය ගැන කියවන්නේ? පියවනවා කියන්නේ එතැන නාස්තියක් නෑ කියන එකනේ. ඔව් මේකේ පාලනය එමිරේට්ස් යටතේ තියෙද්දී ඉතා ඉහළ ලාහයක් ලබද්දී තමයි ජනතාව කිව්වේ නෑ... මේක අපේ රටට ගන්න ඕනේ කියලා. ඒ අරගත්තු කට්ටිය තමයි මේක බංකොළොත් කළේ. ඒකට එයාලාව පත්කරපු ජනතාව වගේම එයාලාගේ වේදිකාවට නැගපු npp අයත් වග කියන්න ඕනේ...!
මයිනා ඇතුළු පවුල...
මේ ආයතනයට කරපු අපරාධය ගැන සිහි වෙනකොට මට මේ රටේ ඊට වගකිව යුතු කීපදෙනෙක් ගැන ඇතිවන්නේ කිව නොහැකි තරම් කෝපයක්, තරහක්, පිළිකුලක්. ඔවුන්ට තමන් කළ අපරාධය ගැන නිකම් වගේ වගක් වත් නැහැ විදියටයි ඉන්නේ. ඒ කාලේ 2002 වසරේ දවසක මට මගේ කනටම ඇහුනා ජ'මන් ජාතිකයෙක් තවත් යුරෝපිය ජාතිකයෙකුට කියනවා ෆ්ලයි කරනවා නම් ශ්‍රී ලන්කන්ම තෝරා ගන්න, අපි හැමතිස්සෙම යන්නේ ශ්‍රී ලන්කන්, එකේ ගොඩක් වාසි ලබා දෙනවා කියලා. ඒ තරම් හොඳ නාමයක් ඒ කාලේ ශ්‍රී ලන්කන් එකට තිබුනේ. ගුවන් යානා කලින්ම පිරිලා ගියා. එතකොට ප්‍රධාන විධායක හිටියේ පීටර් හිල් මහත්තයා විශේෂඥ දැනුමක් ඔහුට තිබුනේ. රටට ලොකු ආදායමක් ලැබුනා. 2009 දී එක මොට්ට අප්පච්චියෙක් ඔහුව එළවලා නිකම් පිංගුත්තරයෙක්ව එතෙන්ට දැම්ම දා ඉඳලා තමයි මේ මහා විනාශය සිද්ධ වුනේ. අද ඔවුන් තමන් කළ අපරාධය ගැන වචනයක් කතා කරන්නේ නැහැ. ඒ මදිවට තව තවත් බලයට එන්න සිහින දකිනවා.
රාජපක්ෂ පවුලට හෙන ඉල්ලපල්ලා, ඔබලාගේ දරුවෝ දුක් විඳින්නේ ඔය පවුල නිසා, කෝටි පනස් එක රාජපක්ෂ පවුලේ සෙල්ලක්කාර වැඩවලට, යහපාලනයේදී රනිල්ගේ ගෝල බාලයින්ට තමයි ඔය මුදල් බෙදුනේ. තමන්ගේ දරුවන්ට අනාගතයක් නැතිකළ රාජපක්ෂ හැතිකරය උදව් කරන කිසිවෙකුටවත් නැවත බලයට එන්න ඉඩ දෙන්න එපා.
වගකිව යුත්තෝ මිනී මරලාත් ඔවුන්ට දඬුවම් තියා නඩුවත් නෑ.
රජයේ ආයතන බංකොළොත් කරන්නේ ඔවුන්ගේ දේශපාලන ඇම්බැට්ටයෝ දාලා. බංකොළොත් කරයි නැවත නැවත වැසියත් ඔවුන්ටමයි අන්තිමට කුණුකොල්ලෙට ඔවුන්ගේම හිතවතුන්ට විකුණනවා. රටක් දියුණු වෙයිද මෙහෙම...?