IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලුණු හිඟයක් මවාපාන සමාජයේ කටකතා

 

ශ්‍රී ලංකාව තුළ වසරකට අවශ්‍ය ලුණු තොග පවතින බවත්, කිසිදු ලුණු හිඟයක් නොමැති බවත්, දැනට පවතින මිල වඩා අඩු මිලකට ලුණු ලබා දෙන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය.

ඒ අතරම ප්‍රකට ලුණු නිෂ්පාදකයකු වන රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා ද ප්‍රකාශ කළේ ලුණු හිඟයක් ඇති වීමට කිසිදු හේතුවක් නැති බවයි.

විවිධ පාර්ශ්ව රට තුළ ව්‍යාජ ලුණු හිඟයක් මවමින් මිල ඉහළ දැමීමේ උත්සාහයක නිරතව සිටින බවත් ව්‍යාජ ප්‍රචාර ඔස්සේ ජනතාව නොමඟ යැවීමට ඉඩ නොතබන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළ බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය

අප රට තුළ බොර දියේ මාළු බාන්නන්ගෙන් හිඟයක් නැත. එමෙන්ම ඕනෑම වසංගතයක් වසන්තයක් බවට පත් කර ගන්නා පිරිස් ද සිටිති. ඕනැම දෙයක් දෙස තමන් දමා සිටින දේශපාලන කණ්ණාඩියේ වර්ණයට අනුව හඳුනා ගෙන ඒ අනුව තර්ක ගොඩ නඟන, තමන්ගේ මනසේ දිග පළලට අනුව සියල්ල විග්‍රහ කර ගන්නා පිරිස් ද සිටිති.

එක්ස්ප්‍රල් පර්ල් නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදේ දී ගිනි ගත්තේය. එය නොවැළැක්විය හැකි සිදුවීමකි. එය කිසි ලෙසකින් හෝ ඛේදවාචකයකින් වෙනස් නොවන්නකි. ඉන් රටට වූ හානියෙන් හා පාඩුවෙන් ඒ බව මනාව ඔප්පු වේ. මෙම නැවේ ගින්න හරහා ඇතැමෙක් අතුරු කතාවක් නිර්මාණය කළහ. එම අතුරු කතාවෙන් කියැවුණේ නැවේ අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය මුහුදට මුසු වීම නිසා ලුණු නිෂ්පාදනය කළ නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බවය.

මෙම සාවද්‍ය මතය අන්තර්ජාලය හරහා වේගයෙන් සමාජගත විය. ලුණු නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් සමාජයේ සියල්ලන්ටම නැත. එම අවබෝධය නොමැති පිරිස්වලට මෙම ව්‍යාජ මතය පවිත්‍ර සත්‍ය ලෙස පෙනී යා හැකිය. ඊළඟ පියවර වන්නේ ඇති තරම් ලුණු තොග තමන් සන්තකයේ ගබඩා කර ගැනීමට ඔවුන් පෙළඹීමය. ව්‍යාජ මතය විශ්වාස කර නොව ලුණු හිඟයක් ඇති විය හැකිය යන බියට සෙස්සෝද ලුණු තොග ගබඩා කර ගැනීමට පෙළඹෙති.

මෙරට වෙළෙඳ සමාජය මාෆියාවක් ලෙස වරින් වර ක්‍රියාත්මක වේ. ලුණුවලට ඇති අනිසි ඉල්ලුම නිසා එම මාෆියාකරුවෝ ලුණු තොග සඟවති. ඉල්ලුමට සරිලන තොග වෙළෙඳපොළෙහි නොමැති වීමේ ප්‍රතිඵලය වන්නේ මිල ඉහළ යාමය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මාෆියාකරුවන්ගේ පොකැට්ටුව පුරවන්නේ එසේය.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ රට තුළ කිසිදු ලුණු හිඟයක් නොමැති බවත් පවතින මිලට වඩා අඩුවට ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බවත්ය. හම්බන්තොට ලුණු සංස්ථාවේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා ද රට තුළ කිසිදු ලුණු හිඟයක් ඇති නොවන බව මාධ්‍ය හරහා අවධාරණය කළේය.

රටේ ජනතාව ජීවත් වන්නේ දහසක් ප්‍රශ්න මැදය. සිය වසකට පමණ පසුව පැමිණි ලෝක වසංගතය අන් රටවල් සේම අප රට ද තම භාරයට ගෙන අවසන්ය. මසකට ආසන්න කාලයක් පුරා රට තුළ සංචරණ සීමා ක්‍රියාත්මක වේ. මෙම තත්ත්වය කවදා තුරන් වී යා දැයි අනාවැකි පළ කළ නොහැකිය. වසංගත තත්ත්වය තුළ බොහෝ දෙනකුගේ රැකියා අහිමි වී තිබේ. කුලී වැඩෙන් දරු පවුල් රක්ෂා කළ මිනිසුන්ගේ ජීවිත පතුල නොපෙනෙන අගාධයකට ඇද වැටී තිබේ. දරු පැටවුන්ගේ අධ්‍යාපනය කඩා වැටීම තුළ දූ දරුවන් මෙන්ම වැඩිහිටියන් පසු වන්නේද අසහනයෙනි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියේ වේගය මරණ බිය රැගෙන ඒමට සමත්ය. රටකට මීටත් වඩා අත් වීමට වෙනත් විපතක් නැත.

ව්‍යාජ පුවත් මවමින් රට තුළ නොසන්සුන්තාවක් ඇති කර තම මඩිය පුරවා ගැනීමට උත්සාහ දරන පාපිෂ්ඨ බලවේග මේ සෙල්ලම් කරන්නේ එසේ අසරණව සිටින ජනතාව සමගය. එය වූ කලී මහ පොළොව නුහුලන අපරාධයකි. දිළිඳුම පවුලකට මෙම ව්‍යාජ ප්‍රවෘත්තියත් සමග සිතෙන්නට ඇත්තේ දැන් ඉතින් ලුණු කැඳවත් බීමට නොහැකි වනු ඇති බවය. මනුෂ්‍යත්වයේ අසරණකම සමග සූදු ක්‍රීඩාවේ නියැළීමට හිතක් පපුවක් ඇති කිසිවකුට නොහැකිය.

පෙර සමාජයේ කියැවුණේ කටකතා විශ්වාස නොකරන ලෙසය. දැන් කීමට තිබෙන්නේ අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ජාලා හා මුහුණුපොත හරහා සංසරණය වන පුවත් එක්වරම විශ්වාස නොකරන ලෙසය. එසේ සංසරණය වන බොහෝ ප්‍රවෘත්තිවලට කර්තෘවරයකු නැත. එහෙයින් ප්‍රවෘත්තියේ වගකීම දරන්නෙකු ද නැත. එහෙයින් විශ්වාසවන්ත භාවයෙන් තොර මාධ්‍යයක තොරතුරු විශ්වාස කර කළබල නොවන ලෙස ද අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

(***)



අදහස් (2)

ලුණු හිඟයක් මවාපාන සමාජයේ කටකතා

ජයන්ත Saturday, 05 June 2021 08:07 AM

ලුණු හිඟයක් වෙන්නේ නෑ කියලා දන්නවා. නමුත්, තව අවුරුද්දකින් විතර දැන් හදන ලුණු එයි. ඒ ලුණුවල මයික්‍රෝ ප්ලාස්ටික් තියෙයි. කෙලවෙන්නේ එතැනයි...

:       15       3

HESA Saturday, 05 June 2021 12:54 PM

මෙවන් බොරු තොරතුරු ප්‍රචාරය කරන ඈයින්ටත්, ඒ පිටුපස සිට මෙහෙයවන තරාතිරම කවුරු වුණත් ඒ තුප්පහින් සමාඡයට පෙන්වා දඬුවම් දෙන්නයි ඕනෑ...!! 

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site