IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කළ දැනුම් දීමකට අනුව නවතා දමා ඇතැයි ලංකාදීපය නොබෝදා හෙළිකර සිටියේය. මේ ව්‍යාපෘතිය භාරව සිටියේ මාර්ග සංවර්ධන අධිකාරිය බවත්, එය මුදල්  රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ව්‍යාපෘතියක් බවත් සඳහන් වෙයි.

වැවක වටිනාකම තේරුම් ගත නොහැකි දේශපාලනඥයන් තමන්ට පැවරෙන රාජකාරි සහ වගකීම්වල වටිනාකම් කෙසේ තේරුම් ගනු ඇති දැයි සිතන්නත් අපහසු ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී ඇත්තේ පුරාවිද්‍යා නිලධාරිනියකගේ අනුදැනුම මත බව ද සඳහන් ය. මෙතරම් පෞරාණික වැදගත්කමක් ඇති වැවක බැම්ම කාපට් කිරීම එවැනි එක් නිලධාරිනියකගේ අනුමැතිය මත පමණක් කළ හැකි කාර්යයක් ද යන්නත් ගැටලුවකි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතාගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කර ඇත්තේ, පුරාවිද්‍යා නිලධාරිනියකට එවැනි අවසරයක් ලබාදිය නොහැකි බවය. අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ජී.ආර්. ජයතිලක කළ සඳහනකට අනුව මේ ව්‍යාපෘතියට අවසර පතමින් ඉල්ලීමක් කර තිබුණද මේ වනතුරු එයට අවසර දී නැති බවද කියවේ. එසේ නම් මෙවැනි විනාශයක් සිදුවුණේ කෙසේ දැයි බලධාරීන් සොයා බැලිය යුතු නොවේද?

සිද්ධිය පිළිබඳ තොරතුරු අධ්‍යයනයේ දී අපට වැටහෙන්නේ ප්‍රබල දේශපාලන බලපෑමක් නිසා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී ඇති බව ය. කොන්දක් නැති නිලධාරිනියක ඉදිරියට දමාගෙන මෙවන් විනාශකාරී ක්‍රියාවක් කිරීමට වෙනත් කිසිවෙක් ඉදිරිපත් නොවන බව තේරුම් ගැනීමට අපහසු නැත. දේශපාලන බලයෙන් හිස උදුම්මාගෙන සිටින කෙනකුට පෞරාණික වැවක බැම්මේ වටිනාකම පෙනෙන්නේ නැති බවද හැඟවේ. ඔවුන්ට පෙනෙන්නේ ඒ වටා තිබෙන ඡන්දදායකයාගේ වටිනාකම පමණි. වැව් බැම්මක් කාපට් කිරීම වැනි නාස්තිකාර ක්‍රියාවකට සිත ඇදෙන්නේ කුමන කාරණයක් නිසාදැයි නොතේරේ.

මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සපයා දී ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් බව ද සඳහන් ය. ඒ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමක දී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර ඇත. ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් මෙම මාර්ගය සංවර්ධනය කර කාපට් කර දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට මුදල් ලබා දුන් බවත් මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ ජනතාව වෙනුවෙන් බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.

මෙරට පෞරාණික වැවක බැමි කඩා බිඳ දමමින් මාර්ග කාපට් කිරීමට මහා සංඝරත්නය ඉල්ලීමක් කර ඇති බවට රාජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිගැනීමට ද අපි මැලිවෙමු. අප අසා දැක ඇත්තේ එවැනි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ඉදිකිරීම් කඩා බිඳ දැමීම්වලට එරෙහිව ඉදිරියට එන මහා සංඝරත්නය පිළිබඳ පමණි. අනුරාධපුර පූජා නගරයේ මතු නොව ලංකාවේම පැරණිම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම (අභය වැව) වැවේ බැම්ම කාපට් කිරීමට ඉල්ලීමක් කර ඇති භික්ෂුන් වහන්සේලා සිටිත් නම් ඒ ගැන අපට ඇතිවන්නේ කනගාටුවක් බව ද සඳහන් කළ යුතු ය.

දැනට පෙනෙන හැටියට රාජ්‍ය අමාත්‍යවරයාගේ නියෝගයකට නිලධාරීන් හරස් වීම නිසා සිදුවී ඇත්තේ යහපතකි. දේශපාලනඥයන්ට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ද ඇස් වසා නිලධාරිනියකගේ තනි කැමැත්තට පෞරාණික වැව් බැමි විනාශ කළ හැකි නම් අපේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවලට දෙවියන්ගේම පිහිට පතනු හැර වෙන කුමක් කරන්නද? මේ සිද්ධියේ බරපතළකම රාජ්‍ය අමාත්‍යවරයා තේරුම් ගනු ඇතැයි අපි විශ්වාස කරමු. එසේම සිද්ධිය දැනගත් වහාම එය නැවැත්වීමට ක්‍රියාකළ නිලධාරීන්ට ද අපගේ ප්‍රණාමය පුදකර සිටිමු.

(***)



අදහස් (0)

ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site