IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රිය අනතුරු වැළැක්වීමට මාර්ග නීතියේ වෙනසක් ඕනෑ

දෙහිවල මංසන්ධියේ ගුවන් පාලම යට එක කෙළවරක සිදු වූ දරුණු බස් රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරකු මියගිය බව පසුගියදා ලංකාදීප පුවතකින් අනාවරණය විය. එම අනතුරට හේතු වී තිබුණේ, ගල්කිස්ස දෙස සිට කොළඹ බලා ධාවනය වූ මාර්ග අංක 101 සහ 155 දරන පෞද්ගලික බස් රථ දෙකක් අතර තරගයකට සිදුව තිබූ රිය ධාවනය බවත්, දිගටම රණ්ඩු වෙමින් පැමිණි එම බස් රථ දෙක එකිනෙකට ඉස්සර කිරීමට උත්සාහ දැරීමේදී ඒ දෙකට මැදි වූ ත්‍රිරෝද රථයක රියැදුරු ඒ තුළම මිය ගොස් සිටි බවත් සඳහන්ව තිබිණි.

මේ රිය අනතුර රට පුරා විවිධ ආකාරයට සිදු වන බරපතළ රිය අනතුරුවලින් එකක් පමණක් වුව ද, එය රටේ ජනතාවගේ ජීවිත මහමගදී කොතරම් අනාරක්ෂිත තත්වයකට ඇද දමා තිබේ දැයි පෙන්වා දෙන එක් උදාහරණයකි. රුපියල් ශත වෙනුවෙන් බස් මගීන්ගේ ජීවිත පරදුවට තබා මහාමාර්ගයේ බස් ධාවනය කෙරෙන එකම රට අපේ මේ ශ්‍රී ලංකාවම පමණක් විය යුතුය. එම මාරක බස් රිය ධාවනය බිලිගත් එකම තැනැත්තා ඉහත කී ත්‍රිරෝද රථ රියැදුරා පමණක් නොවන බවත්, තවත් ජීවිත ගණනාවක් ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇති බවත් රහසක් නොවේ.

අඩුම තරමින් අනාගතයේදී හෝ බස් මගීන් සහ සෙසු පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය. එය රථවාහන පොලිසියට පමණක් කළ හැකි රාජකාරියක් නොවේ. පෞද්ගලික බස් රථ අයිතිකරුවන්ට ද මේ සම්බන්ධ ලොකු වගකීමක් තිබේ. ඔවුන්ට එම වගකීමෙන් කර ඇර සිටීමට ඉඩක් දිය යුතු නැත.

මේ අතර, අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලීමක් කරමින් කතානායකවරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබිණි. වර්තමානයේ සිදු වන මාර්ග අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත අකාලයේ අහිමි වීමත්, ඔවුන් පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන වශයෙන් ආබාධිත තත්වයට පත්වීමත් සම්බන්ධයේ කතානායකවරයාගේ අවධානය යොමු කරවන අමාත්‍යවරයා, එය පොදුවේ රට තුළත්, එසේම පවුල් සංස්ථාව තුළත් බරපතළ ගැටලු ඇති කරන බව ද පෙන්වා දී තිබේ. අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ, මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ අසාමාන්‍ය ලෙස මාර්ග අනතුරු ඉහළ යාම වළක්වා ගැනීම ජාතික වගකීමක් වශයෙන් සැලකිය යුතු බවය.

දෙහිවල මංසන්ධියේදී සිදු වූ අනතුර අමාත්‍යවරයා පෙන්වා දී ඇති අතර, රියැදුරන්ගේ නොසැලකිල්ල, අනාරක්ෂිත වාහන ධාවනය මෙන්ම නීතියේ පවතින දුර්වලතා ද හොඳින් ඉස්මතු කර පෙන්වා දී තිබේ. බස් නැවැතුම්පොළවල සිටින මගීන් තමන්ගේ බස් රියට නංවා ගැනීම සඳහා කෙරෙන අපරික්ෂාකාරී නොසැලිකිමත් රිය ධාවනය අනතුරට ඇද දමන්නේ බස් රිය තුළ සිටින මගීන් පමණක් නොවේ. මහාමාර්ගය අසල පදික වේදිකාවලත්, මාර්ගයේ ධාවනය කෙරෙන සෙසු වාහනවලත් සිටින ජනතාව ද මේ හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ දෙති. මෙවැනි රියැදුරන් අතින් සිදු කෙරෙන අනතුරුවලදී මිනිස් ජීවිත අහිමි වුවහොත්, එය මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකි බරපතළ වරදක් බවට පත්කළ යුතු යැයි අපි අදහස් කරමු. එවැනි වැරැද්දකට දඩ ගැසීම හෝ මාස කිහිපයකට සිරදඬුවම් නියම කිරීම හෝ ප්‍රමාණවත් නැත.

ගෙවී ගිය 2023 වර්ෂය තුළදී සිදුව ඇති මාරක අනතුරු 2,200කින් මිනිස් ජීවිත 2,310ක් අහිමි වී ඇති බව පොලිස් සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දී තිබේ. ඒ අනුව, දිනපතා මිනිස් ජීවිත 6කට අධික සංඛ්‍යාවක් රිය අනතුරු හේතුවෙන් රටට අහිමිව තිබේ. මේ තත්වය මේ වසරේ ද වෙනසක් වනු ඇතැයි බලාපොරොත්තු තැබිය නොහැක. එය වෙනස් වීමට බරපතළ වැරැදි කරන රියැදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. එහෙත්, බොහොමයක් අවස්ථාවල අප දැක තිබෙන්නේ, දේශපාලන බලපෑම් හේතුවෙන් ඇතැම් බරපතළ වැරැදි කළ රියැදුරුන්ට එරෙහිව පවා නීතිය ලිහිල්ව ක්‍රියාත්මක කෙරෙන බවය. එම තත්වය නිවැරැදි කර නොගෙන තේරීම් කාරක සභා පත්කර කොතරම් වාර්තා ලබා ගත්තත් පලක් නොවනු ඇත.

(***)



අදහස් (2)

රිය අනතුරු වැළැක්වීමට මාර්ග නීතියේ වෙනසක් ඕනෑ

[email protected] Wednesday, 06 March 2024 08:46 AM

අනිවාර්යෙන් වෙනසක් ඕනෑ. ඉස්සෙල්ලාම කරන්න ඕනෑ... පොලිසියේ නිල්ධාරින්ට බොඩිකැම් දීලා සිස්ටම් එකක් තියෙන්න ඕනෑ... ඒවා අප්ලෝඩ් කරලා ඔඩිට් කරන විදියක්. ඒ වගේම, පොලීසියට වාහන ගන්න කොට ඩෑෂ් කැම් රෙකෝඩින් 360 විදියට, වාහන පලා යනකොට අල්ල ගන්න පුළුවන් උපකරණ, වේග මාපක යන්ත්‍ර ඔක්කෝම තියෙන වාහන ගන්න ඕන සයිරන් හා බීකන් ලයිට් එක්ක. ඊට පස්සේ අවම දඩය 50000ක් කරලා උපරිම දඩ ලක්ෂ 5-10 කරන්න ඕනෑ. ඒ වගේම, ඒ දඩ වලින් යම් ප්‍රතිශතයක් අදාල පොලිස් ස්ථානයට දීලා එවායින් පොලිස් සුබ සාධක වැඩපිළිවෙලක් කරන්න ඕනෑ... අදාල ඒඑස්පී මහතාගේ අනුමැතිය එක්ක...!

:       2       6

රාජේශ් ඛන්නා Thursday, 07 March 2024 05:30 AM

පොලිසියක සේවාවක් මේ සඳහා අත්‍යාවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ස්ථිර කාල සටහනකට පමණක් බස් ධාවනය කරවීමකි. තරඟ නැත. බසය ආණ්ඩුවේද පුද්ගලිකද යන්න අදාල නොවේ. බසයට නැංවීමට කෑ ගසන්නන් ද අවශ්‍ය නැත. අවශ්‍ය ක්‍රමවත් පාලනයක් පමණි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site