IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යළිත් කළු මාසයකට ඉඩක් තියන්න එපා

දිනකට පැය කිහිපයක් විදුලිය කප්පාදුවක් විය හැකි බවට සිදුකෙරෙන අනතුරු ඇඟවීම් සිතට ඇති කරන්නේ මහත් බියකි. පීඩනයකි. එය අනතුරු ඇඟවීමකින් නොනැවතී යථාර්ථයක් බවට පත්වීමේ ආදීනව අප අත්විඳ තිබෙන බැවිනි. (ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගියදා කළ ප්‍රකාශයකින් හෙළිකර තිබුණේ එම බියකරු අත්දැකීමට ශ්‍රී ලංකාව යළිත් ශීඝ්‍රයෙන් සමීප වෙමින් සිටින බවය. මාර්තු සහ අප්‍රේල් මාස වනවිට දිනකට පැය ගණනාවක දැවැන්ත විදුලිය කප්පාදුවකට යාම වැළැක්විය නොහැකි බව ඉංජිනේරු සංගමයේ ප්‍රකාශයේ සඳහන් වී තිබිණි.

එවැනි දැවැන්ත විදුලි කප්පාදුවකට යාම වැළැක්විය නොහැකි තැනට පත්ව ඇත්තේ විදුලි ජනනයට අවශ්‍ය ගල් අඟු‍රු සහ ඉන්ධන ප්‍රමාණවත් තරම් නොමැති වීම නිසා බව සංගමය පෙන්වා දෙයි. ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡාවේදී අනතුරු අඟවා තිබුණේ ගල් අඟු‍රු සහ ඉන්ධන ප්‍රමාණවත් තොග නොමැති නිසා ජූලි මාසය කළු ජූලියක් බවට පත්වෙනු ඇතැයි තම සංගමය ප්‍රකාශ කර තිබුණත් මේ වනවිට තත්ත්වය තවත් බරපතළ වී ඇති බැවින් විදුලි කප්පාදුව මාර්තු, අප්‍රේල් මාසය දක්වා ළඟට පැමිණ ඇති බවය. එය හරියට බැලු‍වොත් මාස 03ක් තරම් අඩු කාල සීමාවකි.

සංගමය පෙන්වා දෙන පරිදි මේ වනවිට ගල් අඟු‍රු නැව් 24ක අවශ්‍යතාව පවතින නමුත් ලැබී තිබෙන්නේ නැව් 05ක් පමණි. එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව අවබෝධ කර ගැනීමට ඉංජිනේරු දැනුමක් අවශ්‍ය නැත. මේ බව දැන දැනත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිහඬව සිටීමද බරපතළ ගැටලු‍වකි. එසේ වගේ වගක් නැතිව සිටින්නේ ගල් අඟු‍රු ප්‍රමාණවත් තරම් ආනයනය කිරීමට පියවර ගෙන ඇති නිසාදැයි අපි නොදනිමු. එහෙත් එසේ ගල් අඟු‍රු නැව් පැමිණීමට නියමිත නම් ඒ බව ලංවිම ඉංජිනේරු සංගමය නොදැන සිටීමට හේතුවක් නැත. මෙරට විදුලිය අවශ්‍යතාවෙන් සියයට 45ක ප්‍රමාණයක් සපයා ගන්නේ ගල්අඟු‍රුවලින් නම් එසේ අවශ්‍ය තරමට නැව් නොපැමිණීම සම්බන්ධයෙන් අමාත්‍යංශය ගන්නා පියවර ගැන රටේ ජනතාව දැනුම්වත් කිරීමට අමාත්‍යංශය පියවර ගත යුතු නොවේද?

එසේ නොවන්නේ නම් අපට නිගමනය කළ හැකි වන්නේ විදුලි ඉංජිනේරු සංගමය පුරෝකථනය කරන කළු මාර්තු-අප්‍රේල් කාලයට දැන් සිටම සූදානම් විය යුතු බවය. එහෙත් මේ වසරේ මුල් භාගයේදී සිදුවූ මහා පරිමාණ විදුලි කප්පාදුවේ එක් ප්‍රතිඵලයක්  වූයේ හිටපු ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් ඔවුන්ගේ ධුර අහිමි වන තරමේ අර්බුදයක් හට ගැනීමය. ඒ බව සැලකිල්ලට ගැනීමේදී එවැනි විදුලි කප්පාදුවකට යළිත් ඉඩක් තැබීම භයානක ප්‍රතිඵල අත්කර දිය හැකි බවත් සැඟවිය නොහැක.

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි කප්පාදුව සම්බන්ධයෙන් නිලධාරීන් ලබාදෙන උපදෙස් නොපිළිගන්නවා නම් එවැනි කළු මාර්තුවක් උදාවීම වැළැක්වීමේ යාන්ත්‍රණයක් ආණ්ඩුව සතුව තිබිය යුතුය. පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ අර්බුදයට ප්‍රථමයෙන්ද ලංවිම ඉංජිනේරුවරුන් මෙවැනි අනතුරු ඇඟවීම් කිහිපයක්ම කළ බව අපට මතකය. එහෙත් ආණ්ඩුව එය කනකට ගත් බවක් පෙන්වූයේ නැත. ප්‍රතිඵලය වූයේ පැය 13ක් දක්වා ඇදී යන විදුලි කප්පාදුවක් ඇතිවීමය. එය සියලු‍ විදුලි පාරිභෝගිකයන්ගේ ඉවසීමේ රතු කට්ට පැනීමක් විය. ආණ්ඩුව මෙවරත් ඉංජිනේරු සංගමයේ ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොකිරීම යළිත් එවැනි තත්ත්වයකට රට ඇද දැමීමක් බවට ඕනෑම කෙනකුට සැක පහළ විය හැක.

මේ අතර මාධ්‍ය හරහා දැනගන්නට ලැබී ඇත්තේ ලබන ජනවාරි මාසයේ සිට යළිත් වරක් විදුලිය ගාස්තු ඉහළ දැමීමට පිඹුරුපත් සකසමින් සිටින බවය. ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ලබන ජනවාරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ මහජන උපයෝගිතා කොමිසම මගහරිමින් බවද සඳහන්ය. එසේ වුවහොත් එය නීතිමය අර්බුදයක් බවට පත්වීමටද ඉඩ තිබේ. එය කෙසේ වුවද විදුලිය ගාස්තු තවදුරටත් ඉහළ යාමත් සමඟ විදුලි කප්පාදුවද දීර්ඝ වුවහොත් එය පාරිභෝගිකයන්ගේ සියලු‍ දරා ගැනීමේ සීමාවන් ඉක්මවා යාමක් දක්වා ඇදී යා හැකි බවද සඳහන් කළ යුතුය. එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට ආණ්ඩුව හැකි හැම ප්‍රයත්නයක්ම දැරිය යුතුය.

විදුලිය ජනනයට අවශ්‍ය ගල් අඟු‍රු ගෙන්වීම බොහෝ අවස්ථාවලදී මේ රටේ මහත් ප්‍රශ්න ඇතිකළ ගනුදෙනුවකි. ටෙන්ඩර් මගඩි, මහා පරිමාණ කොමිස් ගැසීම්, අත යට ගනුදෙනු, ගල් අඟු‍රු ගෙන්වීම සමඟ එකට බැඳී පවතින මාතෘකාය. එවැනි චෝදනා එල්ල වී ඇත්තේ දේශපාලකයන්ට එරෙහිව පමණක් නොවේ. ලංවිම සහ අමාත්‍යංශ නිලධාරීන්ට එරෙහිව පවා එවැනි චෝදනා එල්ල වී තිබේ. රටට ලැබිය යුතු ගල්අඟු‍රු නැව් නොලැබෙන්නේ එවැනි හේතුවක් නිසාදැයි සොයාබැලීමද බලධරයන්ගේ වගකීමක් බවත් පෙන්වා දිය යුතුය.

(***)



අදහස් (0)

යළිත් කළු මාසයකට ඉඩක් තියන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site