IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යස ඉසුරින් පිරුණු නව වසරක් උදාවේවා !

2023 වසර හෙටින් උදාවෙයි. කප් සුවහස් පැතුම් ප්‍රාර්ථනා ඉටුවන සිත් සතන් සොම්නසින් පුරවාලන සියලු යස ඉසුරෙන් පිරුණ වර්ණවත් අනාගතයකට මග කියන සුබම සුබ නව වසරක් බවට 2023 වසර පත් වේවා යන්න ලංකාදීපයේ නව වසරේ ප්‍රාර්ථනය වේ.

අදින් නිමාවන 2022 වසර තරම් කලබැගෑනිවලින් පිරීගත් වසරක් ඉතිහාසයේ නොවුණ තරම්ය. 2022 වසර උදාවූයේම කොවිඩ් මාරාන්තික උවදුරෙන් මුළු රටම ඔත්පළව තිබියදීය. රසායනික පොහොර තහනම රටට ඉතාම අහිතකර ප්‍රතිඵල ගෙන ආවා සේම ආහාර අහේනියක් ද නිර්මාණය කළේය. ඩොලර් හිඟය නිසා ගෑස්, ඉන්ධන නොමැතිව රට පුරා කිලෝ මීටර ගණන් දුරට පෝලිම් ඇති විය. සාපිපාසිත ජනයා එම පෝලිම්වල මියයෑම ජන ජීවිතය තිගැස්සූ අත්දැකීමක් විය. අහස උසට එසැවුණු බඩු මිල ජනජීවිත උස්සා පොළොවේ ගැසීමක් විය.

අරගලය පණ ලැබුවේ එම පරිසරය තුළය. නිර්පාක්ෂික ජනී ජනයා තමන්ගේ ජීවිතවලට සාධාරණත්වය හා යුක්තිය ඉල්ලා අරගල බිම් ඉදිකළහ. ගාලු මුවදොර අරගල බිම ඉන් ප්‍රධාන ය. එම අරගල බිමට නීච දින හා තුච්ඡ ප්‍රහාරයක් එල්ල වූ අතර ප්‍රතිප්‍රහාරය ප්‍රචණ්ඩ වා සුළියක්ව මැති ඇමැති නිවෙස් කරා පියඹා ගියේය. එක් මහජන නියෝජිතයකු සිය රැකවලා සමග මහමග මියගියේ තුච්ඡ මැර ප්‍රහාරයකිනි. අවසානයේ දී රටේ අගමැතිවරයා ඉල්ලා අස්විය. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය. රටෙත් සිටිනු නොහැකි තරමට කැළැඹුණු ජන ආවේගය නිසා ජනාධිපතිවරයා රටින් බැහැර වී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත එව්වේය. රටට අලුත් ජනාධිපතිවරයකු, අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ පසුබිම සකස් වූයේ එසේය.

2022 වසරේ සිදුවීම් යෝනිසෝ මනසිකාරයෙන් සිහිකටයුතුය. අරගලයේ ජය-පරාද වෙන වෙනම විභාග කළ යුතුය. අරගලයෙන් කියැවුණ ජනතාවගේ ආධ්‍යාත්මය නිවැරැදිව කියවා ගත යුතුය. වැරැදුණු තැන් නිවැරදි කර ගනිමින් වැටුණු තැනින් රට නැගිටවිය හැකි වන්නේ එමගින් පමණි.

ශ්‍රී ලාංකික ජනී ජනයාට නිදහසේ හුස්ම ගැනීමට තම අවසන් සුසුම් පොද නිහඬ අවකාශයට මුදාහැරීමට වෙනත් රටක් නැත. මේ රට ආරක්ෂා කිරීම, වැඩි දියුණු කිරීම සෑම පුරවැසියකුගේම වගකීමය. උපනූපන් දූ දරුවන්ට සතුටෙන් මෙන්ම අභිමානයෙන් ජීවත් විය හැකි රටක් උරුම කර දිය යුතුය. එය පැහැරහැරිය නොහැකි වගකීමකි. එම වගකීම හැකි ඉහළම ආකාරයෙන් ඉටු කිරීමට නොපසුබස්නා අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ යුතුය.

අප රටට අත්වී ඇති ඉරණම බෙහෙවින් දුක්ඛිතය. මෙම තත්ත්වය නිර්මාණය වූයේ අහේතුකව නොවේ. නිදහසින් පසු පැමිණි ගමනේ ගත් වැරැදි තීන්දු තීරණ මෙන්ම කාකොටා ගැනීම් රටට මෙම විනාශය අත් කළේය. සෑම ප්‍රශ්නයක් දෙසම දේශපාලන  කෝණයෙන් බැලීම, ප්‍රශ්නය කුමක් වුවත් එය තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට යොදා ගන්නා නිහීන හා තක්කඩි මෙන්ම මජර පක්ෂ දේශපාලනය මෙම විනාශයට පාවඩ එලුවේය. අප රටේ සම්පත් කෙරෙහි විශ්වාසය නොතබා අනුන් මතම යැපෙන පරපුටු දේශපාලනඥයෝ මේ ආර්ථික අගාධයට රට ඇදගෙන ගියහ. දැන් අපි වේලක් කෑ පසු ඊළඟ වේල කන්නේ කෙසේදැයි සිතන්නට සිදුව ඇති හිඟන රටක ජීවත් වෙමු. ජීවිතය පරදුවට තබා කුඩා බෝට්ටුවලින් මහ සයුර තරණය කරමින් වෙනත් රටවලට පනින්නට සිතන  මිනිසුන් සිටින රටක් නිර්මාණය වී තිබේ.

ඉහත ශාපලත් ඉරණම වෙනස් කළ යුතුමය. අපගේ දූ දරුවන්ට මේ නරකාදියෙහි තවදුරටත් තැවෙමින් දැවෙමින් ජීවත් විය නොහැකිය. අභිමානවත් ශ්‍රී ලංකා පුත්‍රයකු ලෙස නැගී සිටීමට පසුබිම සකස් වුණ මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත් විය හැකි සාරවත් රටක් බිහි කළ යුතුය.

වසරින් වසර මේ ප්‍රාර්ථනා අලුත් වන බව සැබෑය. එහෙත් නිදහස ලබා හැත්තෑ හතර වසරක් තුළ එම ප්‍රාර්ථනා ජීවමාන යථාර්ථයක් බවට පත් කර ගැනීමට අපි අසමත් වීමු. 2023 වසර ඒ සැහැසි ඉරණම වෙනස් කරන වසර බවට පත් විය යුතුය. එය ප්‍රාර්ථනාවලින් පමණක් ඉටු නොවන්නකි. ඒ හා බැඳුණු සාමුහික මහා මිනිස් ක්‍රියාන්විතයක් අවැසිය. ඒ ක්‍රියාන්විතයට පක්ෂ පාට බේද නොසලකා සකල ජනී ජනයා පෙළ ගැසෙන්නේනම් ඉතිහාසය කණපිට හරවන වසර බවට 2023 වසර පත්වනු ඒකාන්ත ය.

 

(***)



අදහස් (2)

යස ඉසුරින් පිරුණු නව වසරක් උදාවේවා !

AB Saturday, 31 December 2022 06:22 PM

පක්ෂ, පාට බේද, ජාති අගම් බේද නොසලකා ශ්‍රී ලාංකිකයන්සේ නැගීසිට ඉතිහාසය කණපිට හරවන වසර 2023 වසර බවට පත්කර ගනිමු. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටුවන අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට එක්වෙමු !

:       0       0

TWENTY FIRST CENTURY THIRD DECADE NATURE Saturday, 31 December 2022 11:03 PM

මෙි මිහිමත ජීවත්වන එක වෙිලකින් යැපෙන්නන්ට තව වෙිලක් කුසට එකතු වෙිවා! වෙිල් දෙකක් කුසට වැටෙන ඒ අහිංසකයනට ඉතිරි වෙිලත් කුසට වැටෙිවා!! සකල ලෝක වාසීන්ටම නීරෝගිමත් අනාගතයක් උදාවෙිවා!!! උදාවන නව වසර 2 0 2 3 = ( 7 ) 2023 - Be A Lucky Sevan Year - Wish u ol nothing but the best.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site