IMG-LOGO

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා


බීමතින් පොලිසියේදී යකා නැටීම

බීමතින් පිළියන්දල පොලිසියේදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ආධාරකරුවන් අටදෙනකු පොලිස් ඇප මත මුදාහැරිය බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

අදාළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු සහචරයන් පොලිස් සිර මැදිරියේදී හැසිරුණු ආකාරය සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝ පටයකින් ද මුළු රටටම දැකගත හැකි විය. ගරු කටයුතු මහජන නියෝජිතයකුට මෙසේ හැසිරිය හැකිදැයි සිතෙන තරමට එම හැසිරීම ජුගුප්සාජනකය. පොලිස් සිර මැදිරියේදීත් එසේ හැසිරුණු මෙම පුද්ගලයන් ඊට පෙර මහ පාරේ කෙසේ හැසිරෙන්නට ඇත්දැයි සිතාගත හැකිය.

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉකුත් සිකුරාදා රාජකාරි ගමනක් ගොස් ආපසු පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී පිළියන්දල වෑවල අතුරු මාර්ගයේ අපරික්ෂාකාරී අයුරින් ධාවනය වන සුඛෝපභෝගී රියක් දැක එය පරීක්ෂා කළ බවත්, එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අධික ලෙස බීමත්ව සිටින බව නිරීක්ෂණය කර පිරිස පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බවත් වාර්තා විය. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රථයේ සිටි අනෙක් පිරිස පොලිසිය දෙවනත් වන ආකාරයෙන් කෑකෝ ගසමින් කලබලකාරී ලෙස හැසිරුණු ආකාරය දැකගත හැකි විය. පිරිස පාලනය කිරීමට සියලු දෙනාම කූඩුවට දැමීමට පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කර ඇති බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා එක් අතකින් නිවැරැදිය. තිස් වසරක් පුරා ජාතියට හෙණයක් වූ යුද්ධය තුන් වසරකින් නිමා කිරීමට රණවිරුවෝ සමත් වූහ. ඒ වෙනුවෙන් දහස් ගණනක් රණවිරුවෝ ඇස් ඉස් මස් ලේ දන් දුන්හ. දහස් ගණනක් රණවිරුවෝ තම ජීවිතය පූජා කළහ. ඇතැම්විට එබඳු පරිත්‍යාග කළ රණවිරුවන් සැලකිය යුතු පිරිසකට තමන් උපන් රටේ එක බිම් අඟලක් හෝ නොමැති වූවන් විය හැකිය. උපන් බිමේ එක් බිම් අඟලක් හෝ නොමැති වුවත් තම ජීවිතය දන් දීමට ඒ රණවිරුවන්ට උපන් රටක් තිබිණි. ඒ රණවිරුවන් එසේ ජීවිත පරිත්‍යාග කරමින් නිදහස දිනා දුන්නේ අසීමිතව බීමත්ව මහ පාරේ යකා නැටීම වෙනුවෙන් යැයි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා සිතන්නට ඇත.

‘නීතිය ඉදිරිපිට සියල්ලෝම සමාන වෙති’ යන්න පිළිගත් ශිෂ්ට සම්පන්න මතයකි. නීතිය ඉදිරිපිට සියල්ලන්ම එසේ සමාන වුවද වරද ඉදිරියේ සියල්ලන්ම සමාන යැයි තකතීරුවකු මිස අනෙකෙක් විශ්වාස නොකරති. මහ පාරේදීත්, පොලිස් කූඩුවේදීත් ජුගුප්සාජනක හැසිරීමක් ප්‍රදර්ශනය කරනු ලැබුවේ සාමාන්‍යයෙන් පාසල් නොගිය පුරවැසියකු නම් හෝ සමාජ වගකීම් විරහිත පුද්ගලයකු නම් හෝ එවිට වරදේ බර අඩුවේ. එහෙත් මේ යකා නටා තිබෙන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු හා ඔහුගේ හෙංචයියන් පිරිසකි.
හෙංචයියන් පිළිබඳව නම් සැබැවින්ම ප්‍රශ්නයක් නැත. ඔවුන්ගේ හාම්පුතාට වඩා වැඩිමනක් යමක් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් දේශපාලනඥයකුගෙන් ගරු සරු හැසිරීමක් ජනයා අපේක්ෂා කරති. මන්දයත් රටේ ජනයාගේ ඉරණම තීරණය කිරීමේ බලයක් දේශපාලනඥයකු සතුවන හෙයිනි. දේශය පාලනය කිරීම යනු මහ පාරේ බීමත්ව යකා නැටීම නොවේ. පොලිස් අත්අඩංගුවට පත්වූ පසු පොලිසිය දෙවනත් වන පරිදි ප්‍රචණ්ඩ ලෙස හැසිරීම නොවේ. තමා දේශපාලනඥයකු වන හෙයින් රටේ නීතිය තමන්ට බල නොපාන බව සිතීම නොවේ. එහෙත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා වෙතින් ප්‍රදර්ශනය වී තිබෙන්නේ ඒ කිසිදු ආදර්ශයක් නොව කඩප්පුලි හැසිරීමකි.

දේශපාලනඥයන් මෙසේ හැසිරෙන්නේ නම් අප කෙසේ හැසිරුණත් කම්නැතැයි නොමේරූ තරුණයන්ට සිතිය හැකිය. දේශපාලනඥයන්ට එක නීතියක් නම් ඒ නීතිය සාධාරණ නොවේ යැයි සිතන නොමේරූ තරුණයා කැලෑ නීතිය අතට ගැනීමට ඉඩ ඇත. දේශපාලනයට පිවිසෙන්නේ මෙබඳු අය නම් දැන උගත් වැදගත් මිනිසුන් දේශපාලනයට පිවිසීම ප්‍රතික්ෂේප කරනු ඇත. අවසානයේදී දේශපාලනය මෙබඳු තක්කඩියන්ටම සීමාවනු ඇත.

ජනතාව ඉල්ලා සිටින්නේ අලුත් ගමනකි. ශාපලත් පැරැණි ගමන් මඟේ තවත් ලබාගත හැකි එකදු හෝ ජයග්‍රහණයක් නොමැති බව ජනතාව දනිති. මේ බව දේශපාලන පක්ෂවල නායකයන් ද තේරුම්ගත යුතුය. මැතිවරණවලට ඉදිරිපත් කළ යුත්තේ ජනතා විශ්වාසය දිනාගත හැකි ජනතා විශ්වාසය ආරක්ෂා කරගත හැකි ගරු කටයුතු පුරවැසියන්ය. එහෙත් එය ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙබඳු ජුගුප්සාජනක පුවත් නිතර දෙවේලේ ඇසීමට දැකීමට මෙරට ජනයාට සිදුවී තිබේ.

 



අදහස් (6)

බීමතින් පොලිසියේදී යකා නැටීම

sandy123 Saturday, 25 May 2019 11:52 AM

කුඩු ගහන මන්ත්‍රීවරු ඇමතිවරු තීන්දු තීරණ ගන්න රටක මේවා මොනවද?

:       0       42

ajith Sunday, 26 May 2019 10:55 AM

මේ දීපු දඬුවම හොඳටම මදි. වෙන රටවල්වල මේවගේ හැසිරුණොත් මස 12ක් හිරේ.

:       0       41

Sugath Tuesday, 28 May 2019 04:18 AM

අය නම දාන්න බැරි. එපමණ බයද.?

:       0       42

lalithm Tuesday, 28 May 2019 08:22 AM

කලකට ඉස්සර කහවත්තේ ස්ථානාධිපතිතුමා එයාට පාට් දමලා යන්න නිල නිවසට ආපු ප්‍රාදේශීය සභා ලොක්කෙකුට දනිස්ස කුඩුවෙන්න වෙඩි තියපු කථාවක් මගේ මතකයේ තියනවා. දැන් ඉන්න පොලිස් ලොක්කන්ටත් ඒ වගේ වුණානම් මේ බලු පාට් කාරයින්ව මට්ටු කරන එක අමාරු නැහැ. දේශපාලකයන් ලොක්කන් කරලා තියෙන්නේ අපේම නිවට හැසිරීම් නොවේද..?

:       0       0

athura Wednesday, 29 May 2019 07:42 AM

දැනටත් හිටපු අය බලයට ගෙන්න උත්සහ කරන කෙනෙක් මෙයා. වැරදිලාවත් බලයට අවොත් මේ පොලිස් ලොක්කට අබ සරණයි.

:       0       8

janatha anura Friday, 07 June 2019 02:21 AM

ජනතාව නැවත බලයට ගෙනෙන පක්ෂ දෙකෙන්ම එන නායකයා ඔබ හිතනවට වඩා වෙනස් කෙනෙක් වනු ඇත. මෙවැනි දේවල් ඔහු සමග බැහැ. මගේ මිනිසා පක්ෂයේ මිනිසා ප්‍රත්පත්තියෙන් බැහැරව කටයුතු කරනු ඇත. උවමනා වන්නේ 19 වැනි ව්‍යවස්ථාවේ රටට අහිතකර නායකයා හඳුනා ගත නොහැකි වගන්ති ඉවත් කල හැකි ලෙස උපරිම ජනතා බලයකි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 154 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15827 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site