IMG-LOGO

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා


බිඳුණු සිත් සුවපත් කිරීමට සැවොම එක්සිත්ව එක්වෙමු

වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 76 දෙනකු අතුරින් 57 දෙනකු අධිකරණය මගින් රිමාන්ඞ් භාරයට පත් කළ බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්වන පුද්ගලයන්ට ඇප ලබා ගත හැකිවන්නේ මහාධිකරණයෙන් බවත් වැරැදිකරුවන්ට වසර 10ක සිරදඬුවම් හිමිවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

රට යථා තත්ත්වයට පත් කිරීමේ දී එක පැත්තකින් නීතිය බල ගැන්විය යුතුමය. ස්වයං විනයෙන් පිරිහුණු පුරවැසියා දමනය කර මෙල්ල කළ යුතුමය. නීතිය අතට ගෙන යකා නැටීමට කිසිම පුරවැසියකුට අයිතියක් නැත. පුරවැසියාගේ පරම වගකීම වන්නේ සාමූහික විචාර බුද්ධියෙන් යුතුව සමාජයේ පොදු පැවැත්ම හා සහජීවනය වෙනුවෙන් කැපවීමය. අන්තවාදීව හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට කිසිවකුට අයිතියක් නැත. ඒ වගකීම හඳුනා නොගත් පාපතර අන්තවාදීන්ගේ සැහැසිකම් නිසා මුළු රටම වැටී ඇති අගාධය මනාලෙස පැහැදිලිය.
‘අන් ජාතියක් පීඩාවට පත් කරන ඕනෑම ජාතියක් තමන්ගේම වූ යදම් තනා ගනී’ යැයි මාක්ස් ලියා තැබුවේය. බහු වාර්ගිකයන් ජීවත්වන රටකට එම කියමන මනාලෙස ගළපා ගත හැකිය. කවර හේතු සාධකයක් මත පදනම්ව හෝ තවකෙකු පීඩාවට පත් කළ නොහැකිය. බුදු දහම තුළ එය අවධාරණය කර තිබෙන්නේ “අත්තානං උපමා කත්වා - නහනෙය්‍ය න ඝාතයේ” යනුවෙනි. එනම් ‘තමන් උපමාවට ගෙන අනුන් නොනසන්න’ යනුවෙනි.

අවම ප්‍රාථමික මිනිස් ශිෂ්ටත්වයක් නොමැති මිනිස්  ගුණ ධර්මවලින් පිරිහුණු අන්තවාදී පාපතරයෝ පිරිසක් අප්‍රේල් 21 වැනිදා කිතුණු පල්ලි තුනකට හා සංචාරක හෝටල් තුනකට ප්‍රහාර එල්ල කළහ. ‘මරණයේ වේදනාව මියගිය වුන්ට නොව ජීවත්ව සිටින්නවුන්ටය’ යන්න සනාථ වූ දහමකි. සුන්බුන් බවට පත් වූ තම සදාදරණීයන් බදා වැළපුණ මිනිසුන්ගේ සිත් නිවී සැනසීම් බවට පත් කළ හැකිද? ඒ වේදනාවේ බර යම් පමණකට හෝ හඳුනා ගැනීමේ හැකියාවක් සෙසු පුරවැසියන්ට තිබිය යුතුය. මිනිස්කම යනු එයම විනා අන් යමක් නොවේ. අප රට යනු ඒ මිනිස්කමේ මහිමයෙන් දිග් විජය කළ රටකි. ප්‍රමාණයෙන් කුඩා වුවත් ලොව කවර බලවත් රටක් වුවද අභිබවා ගිය රටකි. අප රට සතු පරම වත්කම එයම විනා අන් යමක් නොවේ.

කරුණු කාරණා එපරිදි වුවද ඉකුත් දිනවලදී වයඹ පළාතෙන් හා මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ කීපයකින් වාර්තා වූයේ එයට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. කුපිත ලෙස හැසිරුණු අන්තවාදී අශිෂ්ට සුළුතරයක් මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඇතැම්විට සුළු සිද්ධියක් පදනම් කර ගනිමින් මහ ගැටුමක් නිර්මාණය වීමට ඉඩ තිබේ. හට ගන්නා කවර හෝ ගැටුමක් පදනම් කර ගනිමින් තම පටු හා පවිටු ඉලක්ක සපුරා ගැනීමට ප්‍රයත්න දරන පුද්ගලයෝද සිටිති. ඒ මර උගුල් හා බොරු වළවල්වල නොවැටී සිටීමේ ප්‍රඥාව සියලු පුරවැසියන් අවශ්‍ය ප්‍රමාණයෙන් වර්ධනය කර ගත යුතුය.

1983 කළු ජූලිය මෙරට ඉතිහාසයේ වළක්වාගත යුතුව තිබූ ඛේදවාචකයකි. එහෙත් ආවේගශීලී වූ මුග්ධ ජනයාට අනාගතය විනිවිද දැකීමේ ශක්තිය නොවීය. ප්‍රතිඵලය වූයේ දෙමළ ජනයා ඝාතනය වීමය. විවිධ හිරිහැරවලට ලක්වීමය. ඔවුන්ගේ දේපළ ගිනි බත් වීමය. එහි තාර්කික අන්තය වූයේ මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කර ගැනීමට ප්‍රභාකරන්ට කදිම පසුබිමක් නිර්මාණය වීමය. යාපනයේදී හමුදා සෙබළු 13 දෙනකු ඝාතනය කිරීම හරහා ප්‍රභාකරන් බලාපොරොත්තු වූයේ ද එබඳුම ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක් සිංහල සමාජයෙන් ප්‍රකාශයට පත් කරවා ගැනීමය. දුර නොදකින මුග්ධ ජනයා නිසා රටට ගෙවන්නට වූ වන්දිය ගණනය කළ නොහැකිය.

විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීම අශිෂ්ට සුළුතරයේ ජීවන විලාසිතාවය. එහෙත් ශිෂ්ට බහුතරය එයට ඉඩදිය යුතු නැත. මේ මොහොතේ අනිවාර්යයෙන්ම කළ යුතු ප්‍රධාන කාර්ය දෙකක් තිබේ. පළමුවැන්න නම් යළිත් අන්තවාදීන්ට ඉඩ නොදීමය. ඒ සඳහා ඇති සෑම මාර්ගයක්ම අහුරා දැමීමය. නීතිය බලගැන්වීමය. දෙවැන්න නම් බිඳුණු සියලු සිත් සුවපත් කිරීමය. අපි එක මවකගේ දරුවෝ වෙමු. මේ මහ පොළොව අප සියල්ලන්ටම පොදුය. අප කාටත් උරුම වන්නේ මේ මහ පොළොවේ සිවු රියන පමණි. එය තේරුම් ගැනීම අනාගත සියලු ජයග්‍රහණවලට මාවතය.



අදහස් (2)

බිඳුණු සිත් සුවපත් කිරීමට සැවොම එක්සිත්ව එක්වෙමු

sandy123 Thursday, 16 May 2019 07:58 AM

කාලෝචිත ලිපියක්. නමුත් මනස පිරිහුණ මෙවන් පුද්ගලයින් මෙයට කන් දෙයිද? අපේ අවවාද අනුශාසනා ඔවුන් පිළිගනීවිද? මිනිසත් බව මිල මුදල් වලට විකුණා, හදවත් බිදුණු, දුකට කෑමොර දෙන, සිත් වලින් හඩන අහිංසක මිනිසුන්ගේ එක සුන්දර සිනහවක් වෙනුවෙන් ඔවුන්ගේ තිරිසන් ගති නැති කර ගනීවිද? විසදාගත යුතු පැනය එයයි.

:       15       44

මේඝවර්ණ අභය Saturday, 18 May 2019 02:53 PM

සහරාන් කියන පාපිෂ්ඨයා පරාදයි කියලා මට හිතුනේ... මේ දවස් ටිකේ මුස්ලිම් සහෝදර ජනතාව තම තමන්ගේ ප්‍රදේශවල බෞද්ධයන් එක්ක බෞද්ධ කොඩි එල්ලලා, වෙසක් කූඩු එල්ලලා කරපු වැඩ දුටුවහම..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 151 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15815 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site