IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පෞද්ගලික බසයට වද දෙන කප්පම්කරුවෝ


කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය කඩාවැටී තිබියදීත් මාසයකට රුපියල් කෝටි 20ක පමණ මුදලක් කප්පම්කරුවන්ට ගෙවීමට සිදුවී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. දිවයින පුරා තිබෙන පෞද්ගලික බස් රථ 20,000කින් පමණ නිල හා නොනිල ආකාරයට කප්පම්කරුවන් මෙලෙස කප්පම් මුදල් අය කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළ බව එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

පෞද්ගලික බස් රථ සේවාව ව්‍යාපාරයකි. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. ව්‍යාපාරික ප්‍රධාන අරමුණ ලාභ ලැබීමය. පෞද්ගලික බස් කර්මාන්තයේ අරමුණ ද එයමය. එහෙත් එසේ ලාභ ලැබීම පහසු කටයුත්තක් නොවේ. මගී ජනතාව බහුලව ගැවැසෙන්නේ උදය වරුවේ සහ හවස් වරුවේය. අනෙක් වේලාවට ධාවනය කෙරෙන බසයට ගමන් වාරයට අයත් වියදම ද සොයා ගැනීම දුෂ්කරය. බස් රථයේ අමතර කොටස්වල වියදම ද ඉතා ඉහළය. ඒ අතරවාරයේ දඩ කොළයක් ලැබීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමකි. ලීසිං වාරිකය ගෙවා දමන්නේ කෙසේ දැයි යන්න බස් හිමියා අතැර නොයන සිතිවිල්ලකි.

කරුණු කාරණා එපරිදි වනවිට කප්පම් ගෙවීමට සිදුවීම ඔළුව ඉස්සීමට නොහැකිම අවස්ථාවකි. මෙම කප්පම් ගැනීම සිදුවන්නේ නිල හා නොනිල ආකාරයට බව ගැමුණු විජේරත්න මහතා පවසයි. නිල ආකාරය වන්නේ “රනර්”ට ගෙවන ගාණ වේ. “රනර්” එම මුදල ගන්නේ මගියා බස් රථයට නැංවීමෙනි. “රනර්” කෙනකු සිටිය ද නොසිටිය ද මගියා බස් රථය සොයාගෙන පැමිණ එයට ගොඩවේ. එහෙත් “රනර්” සේවාවක් සපයා මුදලක් අතට ගනී.

මේ කියන “රනර්” සුළු චරිතයක් නොවේ. සෑම නගරයකම බස් ධාවනය ආරම්භ කෙරෙන ස්ථානයට අයිතිකරුවෙක් සිටී. ඔහු ඇතැම් විට ප්‍රදේශයේ දේශපාලන බලවතා විය හැකිය. පළාතේ දේශපාලන හෙංචයියකු විය හැකිය. මැරයකු විය හැකිය. සයිකල් චේන් එකෙන් ඩප්පියෙන් ගනුදෙනු බේරා ගන්නා ත්‍රාඩයකු විය හැකිය. ටී පනස් හයෙන් ගනුදෙනු අහවර කරගන්නා පාතාලයකු විය හැකිය. “රනර්” යනු ඒ බලයේ සජීවී සංකේතය වේ. එහෙයින් “රනර්” අභිබවා යාමට නොහැකිය. ඔහු ඉල්ලන ගණන දීමට සිදුවන්නේ එහෙයිනි.

කප්පම් මුදල නොගෙවීම මත බස් හිමිකරුවන්ට අනේකවිධ වද බන්ධනවලට ලක්වීමට සිදුවේ. ඇතැම් විට ගමන් වාර ආරම්භ කිරීමට වේලාව ලබාගැනීම දුෂ්කර විය හැකිය. බස් රථය නතර කර තැබීමට ස්ථානයක් අහිමි වීමට ඉඩ තිබේ. බස් රථයට සේවකයන් ​ෙසායා ගැනීමට දුෂ්කර වේ. එබඳු පරිසරයක බස් හිමිකරුට සිදුවන්නේ බස් රථය නිවෙසේ ගාල් කර තබා ගැනීමටය.

දුර ගමන් සේවා බස් රථ මුහුණ දෙන අනුවේදනීය ඉරණමක් ද තිබේ. අතරමග නගරයක බස් නැවැතුමේ බස් රථය නතර කිරීමට නම් ඉල්ලන කප්පම් ගෙවීමට සිදුවේ. අවම තරමින් බසයෙන් බැසීමට සිටින මගියා වෙනුවෙන් බස් රථය නතර කිරීමට සිදුවන්නේ ඉල්ලන කප්පම ගෙවන්නේ නම් පමණි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ, එසේ මාසයකට ගෙවන කප්පම් මුදල රුපියල් කෝටි 20ක් පමණ වන බවය.

බස් කර්මාන්තයට අදාළව පවතින මෙම කප්පම් මාෆියාව නොදන්නා අයකු සිටිය නොහැක. විශේෂයෙන්ම පොලිසිය මෙය දනී. එහෙත් කළු ගල්වල ඔළුව හප්පා ගැනීමේ ආදීනව දන්නා පොලිස් නිලධාරීහු ද කිසිවක් නොදන්නා ඉරියව්වෙන් පසුවෙති. කප්පම් ඉල්ලන බවට පැමිණිලි නොලැබීම ද පොලිසියේ නිහඬ බවට හේතුවකි. පොලිසියට පැමිණිලි නොකරන්නේ ද කප්පම් මාෆියාවට ඇති බිය නිසාය.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍ය මාෆියාවට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම මෙන් මෙහෙයුමක් දියත් කර කප්පම් මාෆියාව ද තුරන් කර දෙන ලෙසය. සැබැවින්ම මෙම කප්පම් මාෆියාවේ සැහැසි ග්‍රහණයෙන් මෙම බස් කර්මාන්තය මුදාගත යුතුය.

රටකට තිබිය යුත්තේ එක නීතියකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දර්ශනය හා ප්‍රතිපත්තිය වී තිබෙන්නේ ද “එක රටක්, එක නීතියක්” යන්නය. එය එසේ නම් ප්‍රාදේශීය චණ්ඩින්ට අධිරාජ්‍ය ගොඩනගා ගනිමින් කප්පම් ගනිමින් කටයුතු කිරීමට ඉඩ දිය යුතු නැත. විශේෂයෙන්ම කොරෝනා මාරක වසංගතයෙන් පෞද්ගලික බස් රථ කර්මාන්තය වළ පල්ලට ඇද වැටුණේය. ඒ වැටුණු වැටිල්ලෙන් තවම නැගිට නැත. කවදා නැගී සිටින්නට හැකි වේ දැයි සහතිකයක් ද නැත. එහෙත් මෙම කර්මාන්තය රැකගත යුතුය. කර්මාන්තය රැක ගැනීමට නම් කර්මාන්තයට එදිරිව ඇති අණවින කොඩිවින හදි හූනියම් කපා දැමිය යුතුය. දැන් ආතුරයා සිටී. ආතුරයා බලා සිටින්නේ යකැදුරා තමන්ට පිහිට වනු ඇත යනුවෙනි. ඒ බලාපොරොත්තුව ඉටුවනු ඇතැයි යන්න අපගේ ද විශ්වාසය වේ.

(***)

 



අදහස් (5)

පෞද්ගලික බසයට වද දෙන කප්පම්කරුවෝ

bongo Friday, 11 September 2020 07:59 AM

මගීන් වේශයෙන් සැරසුණු සන්නද්ධ ආරක්ෂක නිලධාරීන්... මේ ප්‍රශ්නයට හොඳ පිළිතුරක් වෙයි නේද?

:       0       19

DharmasiriSunday, 13 September 2020 02:24 PM

බොරු ජෝක් දාන්න එපා.... ඔය කියන විදිහේ චිත්‍රපටිවල දැකපුවා මේ ලංකාවේ ඇත්තට කරන්න බැහැ. පළාතේ දේශපාලුවෝ මේවායේ පිටිපස්සේ ඉන්නේ. රටම දන්න ලොකු මිනිස්සු මේවා හසුරුවන්නේ.. ඔය සිවිල් ඇඳුමින් ගිහින් අන්තිමේ ඒ මිනිස්සුන්ගේ ජොබ් එකටත් කෙළවෙන එකයි වෙන්නේ. මේවා අත්දැකීමෙන් කියන්නේ මේ රටේ මම අවුරුදු 50කට ආසන්නව ජීවත් වෙනවා.

:       0       48

bongoTuesday, 15 September 2020 03:52 AM

කප්පම් කාරයෝ 10-12 දෙනෙකුට ඔලුව කුඩුවෙන්න තියලා බලන්නකෝ... කප්පම් ගන්නෙත් සල්ලිකාරයෝ වගේ ජීවත් වෙන්න නේද?

:       0       0

Wca Friday, 11 September 2020 05:48 PM

අනේ මන්දා, පොලිසිය කියන්න බෑලු, හැමෝම මේ අය දන්නවලු. ඔක්කොම එකතුවෙලා අල්ලලා දෙන්න පොලීසිය එක්ක එකතුවෙලා. ගිහින් කතා කරන්නකෝ ආරක්ෂක ලේකම් හරි ජනාධිපති එක්ක මේ ගැන හදා ගන්න ක්‍රමවේදයක්... ඒ අයව අල්ලලා ගන්න. ඔච්චර ලොකු සමිතිය වෙලත්. ඩීසල් ටිකක් ගණන් ගියා නම් බලන්න තිබුණා මෙයාගේ ගණන්... සාමාන්‍ය ජනතාවට දාන පාට් එක මේ බොරදියේ මාලු බාන්න හදන්නේ. ඇයි කොන්දොස්තරගේ සද්දේ?

:       0       6

මගියෙක් Monday, 14 September 2020 07:08 AM

දවසක් දුන්නා දීමනාවක් ආයේ ජීවිතේට අමතක නොවෙන්න. බස් එකට නගින්න කලින් මාව ෂර්ට් එකෙන් ඇදලා ගත්තා තව පොඩ්ඩෙන් ෂර්ට් එකත් ඉරිලා මාව බස්එකට යටවෙනවා. බස් එක නැවැත්තුවා අම්බලන්ගොඩින් බස්සලා දුන්නා අම්මාගෙන් බීපු කිරි මතක් වෙන්න. ඕකුන්ට කොන්දොස්තරලා පට්ට බයයි. හෙන සංවිධානයක් ඕක... ප්‍රධාන නැවතුම්වල මොවුන්ගේ නියෝජිතයින් ඉන්නවා. ඔවුන් තමයි කෝල් කරකර බස්වල විස්තර සහ මගීන් ලෝඩ් කරන්නේ... නැවතුමෙන් නැවතුමේදී මේ අය මාරුවෙනවා. කතරගම, හම්බන්තොට බස්වල එහෙම අනිවාර්යයෙන් ඉන්නවා. CTB බස්වලින් සෙනඟ ගලවන්න මේ අය මාර ගේමක් දෙන්නේ. CTB ඩ්‍රයිවර්ස්ලාට කොන්දලාට එහෙම කුණුහරපෙන් බනින්නේ. මන් ඕවා සෑහෙන්න ඇනලයිස් කරනවා බස්එකේ යද්දී... ටැටූ ගහලා හැඩි දැඩි හරක් ටිකක් ඉන්නේ ගොඩක් බස්වල... ඔවුන් හිතන්නේ අපිත් බය වෙන්න ඕනෑ කියලා. පොලිසියේ කතන්දරේ ඇත්තටම පොලිසිය බයයි. මොකද ගොඩක් අය බහින්නේ දේශපාලන හයියක් එක්ක. අනික පොලිසියට ලැබෙන ගාන නැති වෙනවනේ... ඒ අය ගාන දීලා ශේප් කරනවා. මගීන් විදියට ඔයාලත් ඕවා ගැන අවධානෙන් ඉන්න ඕනෑ.

:       0       71

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 19979 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18085 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10830 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 509 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 153 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 820 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site