IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පුදුකුඩිඉරිප්පුවෙන් ඇසුණු සමාජ ශෝකාන්තය

ප්‍රවෘත්තියක් යනු සිදුවීමක් පමණක් නොවේ. ඇතැම් ප්‍රවෘත්තිවලට අදාළ සිදුවීම තුළ බොහෝ බරින් ගත යුතු යටි පෙළක් තිබේ. එම යටි පෙළ තුළ අප ජීවත්වන සමාජයේ කුරිරු අකාරුණික ඇත්ත ඇතුළාන්තය තැන්පත්ව තිබේ. එවන් අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

‘බිලිඳාට දෙන්න කිරි නැතිව මවට ජීවිතය එපා වෙලා’ අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙහි සිරස්තලය එයයි. මෙම අනුවේදනීය පුවත වාර්තා වන්නේ, මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙනි. දින දහයක් වයසැති බිලිඳාට මවු කිරි දීමට නොහැකි වීම හේතුවෙන් සිත් තැවුලට පත් මවක නිවෙස අසල ළිඳකට පැන සිය දිවි හානි කරගෙන ඇති බව එම ප්‍රවෘත්තියෙහි සඳහන්ය. කිරි නොමැතිව දරුවා හඬන අයුරු අසා සිටීමට නොහැකිව ඇය ළිඳට පැන දිවි නසාගෙන ඇති බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසන බව ප්‍රවෘත්තියෙහි සඳහන්ය. විසිනව හැවිරිදි මෙම කාන්තාව දරුවා බිහි කිරීමෙන් අනතුරුව දින 11ක් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබා, පසුගියදා නිවෙසට පැමිණ ඇති බව ප්‍රදේශවාසීන් පවසන බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

පළමුව අවධාරණය කළ යුතු වැදගත්ම කාරණාවක් තිබේ. එනම්, කුමන හේතුවක් මත පදනම්ව වුව ද ජීවිතය තොර කරගැනීමට සිතීම ඉතාම අනුවණ ක්‍රියාවක් බවය. එමෙන්ම එය අතිශයින්ම දුබල මනසක් ඇත්තකුගේ නරක තේරීමක් බවය. ඒ අනුව, මුලතිව් පුදුකුඩිඉරිප්පු අම්මා විසඳුම වශයෙන් තෝරාගත් මාර්ගය කවර අර්ථයකින් වුව ද සාධාරණීකරණය කළ නොහැක.

මුහුදට වැටුණු සිය පැංචාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වල්ගයෙන් මුහුද හිස් කිරීමට උත්සාහ කළ ලේන් කුලේ අම්මා කෙනකු සම්බන්ධ කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ එයි. දාරක ස්නේහය එපමණකටම බලවත්ය. දස මසක් කුස දරා මෙලොවට බිහි කළ දරු පැටවාට දීමට කිරි පොදක් නොමැති වීම ඒ අම්මාගේ මනසට දරා ඉවසා සිටිය නොහැකි වන්නට ඇත. කිරි බිඳක් ඉල්ලා හඬන දරුවාගේ හඬ ඒ අම්මාගේ ළය විනිවිදින කිණිසි තුඩක් බවට පත්වන්නට ඇත. කඳුළ වපුරා මරණය අස්වද්දන යුගයක මානව ඛේදවාචකයේ එක් හරස්කඩක් මෙම සිදුවීමෙන් නිරූපණය වන්නේ යැයි පැවැසීම අත්‍යන්තයෙන්ම නිවැරැදිය.

අප ජීවත්වන්නේ මානව අවශ්‍යතා සපුරා ගැනීම අතිශයින්ම දුෂ්කර වූ යුගයකය. තුන් වේලක් බඩ කට පිරෙන්නට කා බී සතුටෙන් දිවි ගෙවූ මිනිසාට අද සිදු වී තිබෙන්නේ දෙවේලකින් හෝ එක් වේලකින් හෝ සෑහීමට පත්වීමටය. ඒ කන එක වේල ද ව්‍යංජන දෙක තුනක් සමග නොව එක් ව්‍යංජනයක් සමග විය හැකිය. ලේ වඩන ආහාර යැයි වෛද්‍යවරුන් නිර්දේශ කරන ආහාර වර්ග සිහිනෙන් දිව ගෑ සුවඳක් බඳුය. කොවිඩ් මාරක වසංගත සමයේදී රුපියල් 10ට මිලදී ගත් බිත්තරයක අද මිල රුපියල් 65-70කි. ඉකුත් සමයේ එළවළු මිල අහස උසට නැග තිබිණි. ඒ මිල තවමත් සැලකිය යුතු මට්ටමින් පහළ බැස නැත. මාළු මිල ද එසේමය. මෙම පරිසරය තුළ පෝෂ්‍යදායී ආහාර වේලක් සපයා ගැනීම මාරාන්තික අරගලයක් බවට පත්වී තිබේ.

පුදුකුඩිඉරිප්පු අම්මාගේ අනුවේදනීය ඛේදවාචකය අප හඳුනාගත යුතු වන්නේ ඉහත තත්වය ද සැලකිල්ලට ගනිමිනි. මෙය මෙම සමාජය තුළ එක් අම්මා කෙනකු ලැබූ අත්දැකීමක් වශයෙන් හඳුනා ගැනීම නිවැරැදි නැත. මෙබඳු අත්දැකීම් විවිධාකාරයෙන් බොහෝ අම්මාවරු අත්විඳිමින් සිටිති. බොහෝ පියවරු අත්විඳිමින් සිටිති. එහෙයින්, මෙම ඛේදවාචකය පියමන් කිරීම සඳහා කළමනා කටයුතු හැකි වේගයකින් කළ යුතුය.

(***)



අදහස් (0)

පුදුකුඩිඉරිප්පුවෙන් ඇසුණු සමාජ ශෝකාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site