IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිත්තල බොත්තමෙන් හිස උදුම්මා ගන්න එපා

බීමත්කම ‘‘මදයට හා ප්‍රමාදයට’’ හේතුවන බැවින් එයින් වැළකී සිටින්නැයි බුදු දහම උපදෙස් දෙයි. මදය යනු කාම ගින්න ඇවිළීමය. ප්‍රමාදය යනු වැඩ ප්‍රමාදවීමය. එයින් කියැවෙන්නේ බීමත්කම පියවි සිහිය පළවා හරින බවය. පියවි සිහිය අහිමි වූ සැණින් ඒ මිනිසා වෙතින් නොකළ යුතුම දෑ සිදුවන්නට පටන් ගනී. සබරගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ හැසිරීම එයට කදිම නිදසුනකි.

රන්මල් කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මහ මගදී තරුණයකුට පහර දෙන ආකාරයේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරයි. පහර කෑමට ලක්වූ තරුණයා තමන්ට පහර දෙන උසස් පොලිස් නිලධාරියා බීමතින් බවට චෝදනා කරයි. අප පුවත්පත වාර්තා කළ ආකාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැගත් වාහනය ඉස්සර කර යෑම ප්‍රහාරයට හේතුවය. තම නිල රථය එසේ ඉස්සර කිරීම තම තරු පටි පදක්කම්වලට නිගරුවක් යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිතුවා විය හැකිය. බීමත්ව නොසිටියේ නම් ඔහුට එසේ නොසිතෙන්නටද ඉඩ තිබිණි. පියවි සිහියෙන් දුරස්වූ නිසාදෝ තමන් ඉස්සරකර ගිය කාර් රථය හඹාගොස් එය ඉස්සරකර මහ පාරේදී තරුණයාට පහරදීම අරඹා තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිල ඇඳුමෙන් සැරසී රටේ පුරවැසියකුට මෙසේ පහරදීම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය. එරාවුර් ප්‍රදේශයේදී යතුරු පැදිකරුවකුට අතින් පයින් පහර දෙන පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධ වීඩියෝවක්ද මෙයට දෙතුන් දිනකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. පන්නිපිටියේදී ලොරි රථ රියදුරෙකුට බිම දාගෙන පහරදුන් මහරගම පොලිසියේ කොස්තාපල්වරයාගේ කතාවට දෙතුන් මසක් ඉක්ම ගියද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් නිලධාරියාගේ අවකල් ක්‍රියාව නිසාම එම සිද්ධියද වතුරේ සැඟවූ රබර් බෝලයක් මෙන් උඩට ආවේය.

පොලිසිය යන්නට විවිධ නිර්වචන තිබිය හැකිය. අසූව දශකයේ භීෂණ සමයේදී ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ගොඩනැගිල්ලක සරසවි සිසුන් පොලිසියට අදාළව අපූරු නිර්වචනයක් ලියා තිබිණි. පොලිසිය යන වචනයේ අකුරෙන් අකුරට එම නිර්වචනය සපයා තිබිණි. එයින් කියැවුණේ ‘‘පොල්ලක් ගත් ලියන්නට බැරි, සිතන්නට බැරි යකුන් රැලක්’’ යනුවෙනි. මෙම අපවාද අකාමකා ගැනීමට පොලිසියට මහත් ප්‍රයත්නයක් දැරීමට සිදුවිය. සැබැවින්ම දැන් පොලීසිය ඉතා ප්‍රශස්ථය. කොරෝනා මාරාන්තික උවදුර හමුවේ පොලීසිය උපමා නැති මහා මානුෂික මෙහෙවරක නිරත වෙමින් සිටී. ඒ සම්බන්ධයෙන් ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රණාමයක් මෙන්ම ප්‍රසාදයක් පොලීසියට හිමිය. රන්මල් කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හැසිරීම එම පොලිස් දෙපාර්තමේන්තුවටම නින්දා සහගත කැළලක් වන්නේ එහෙයිනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම දෙවැනි තනතුර වේ. එය දෙවැනි වන්නේ පොලිස්පති ධුරයට පමණි. සම්ප්‍රදායට අනුව පොලිස්පති ධුරයට පත්වන්නේද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. එවැනි නිලධාරියකු පළමුව තම කණිෂ්ඨ නිලධාරීන්ට ආදර්ශවත් විය යුතුය. දෙවැනුව සමාජයට ආදර්ශවත් විය යුතුය. හිටපු පොලිස්පතිවරයකුගේ පුත්‍රයකු වන රන්මල් කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙය කියා දිය යුතු නැත. එහෙත් නිල බලයෙන් හිස උදුම්මා ගත් විට මේවා අමතක වී යාම ස්වභාවය වේ. බීමත්කමද එයට මිශ්‍ර වූ විට මහ පාරේ නිරුවතින් රැඟීමට යොමුවීමද අරුමයක් නොවේ.

රටේ හැම පුරවැසියකුටම ඇත්තේ එක නීතියකි. ‘‘එක නීතියක් - එක රටක් යන්න” වත්මන් ජනාධිපතිවරයාගේ මෙන්ම රජයේද සාර, සාරධර්මයකි. කරුණු කාරණා එපරිදිනම් පොලිස් නිලධාරියකුට වෙනම නීතියක් තිබිය නොහැක. එහෙත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මහ පාරේ රඟන්නේ නීතිය යනු තමන් යැයි සිතාගෙන මෙනි.

කවරාකාරයේ අපරාධකරුවකුට වුවද පහර දීමේ බලයක් පොලීසියට නැත. පොලීසිය කළ යුත්තේ අපරාධකරු අධිකරණයට ඉදිරිපත් කිරීමය. අපරාධකරුට දිය යුතු දඬුවම තීරණය කරනු ලබන්නේ අධිකරණය විසිනි.  එහෙත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම තරුණයාගේ බෙල්ලෙන් අල්ලාගෙන යන අයුරු වීඩියෝවෙහි පැහැදිලිව දැක්වෙයි. ‘‘ගහන්න එපා’’ යනුවෙන් එම තරුණයා කෑ ගසන හඬද පැහැදිලිව ඇසේ. ජංගම දුරකථන සුලභ නොවූ සමයේ මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් මෙතරම් දැනුමක් නොවූ සමයේ පොලිසිය ජනතාවට කෙසේ සලකන්නට ඇද්දැයි යන ප්‍රශ්නය මෙහි මතු කරන්නේ අමතර වශයෙනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක් දී ඇතැයි මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය. සිදුවීමට ඇති ප්‍රතිචාරය එයනම් මහ මගදී ගුටි කෑ තරුණයාට මෙන්ම අනාගතයේදී ගුටිකෑමට නියමිත මිනිසුන්ට යුක්තිය ඉටු නොවනු ඇත.

(***)



අදහස් (0)

පිත්තල බොත්තමෙන් හිස උදුම්මා ගන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 77 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 353 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site