IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දේශපාලකයන් නොදන්නා ගමේ විදුලි කප්පාදුව

විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකිව විදුලි විසන්ධි කළ සිද්ධි විශාල වශයෙන් පසුගිය කාලය තුළදී අසන්නට ලැබිණි. එහෙත් අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවෙස්වලින් ඇසෙන විදුලිය විසන්ධි කිරීමේ කතාව සියලු දෙනාගේ හදවත් කම්පාවට පත්කර තිබේ. ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව වල් අලින්ගේ ප්‍රහාර මැද ඉතා දුක්ඛිත ලෙස ජීවත්වෙන මේ ගම්මානවල වැසියන් මුහුණ දී සිටින ගැටලුව කෙරෙහි රජයේ බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමු.

මේ ඛේදවාචකයට මුහුණ දී සිටින්නේ තන්තිරිමලේ, ඉහළ ගෝනෑව, තම්බියාව, සඳමල්එළිය ඇතුළු ගම්මාන රැසක පදිංචිකරුවන් බව ඒ පිළිබඳව සොයා බැලූ ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී උපුල් හේරත් මහතා සඳහන් කරයි. මෙසේ විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකි වී ඇත්තේ වැඩි කළ වැට් බද්දත් සමඟ විදුලිය බිල ඉහළ යාමත් ආදායම් මාර්ග අහිමිවීමත් බවද සඳහන් වෙයි. මෙම ආර්ථික දරිද්‍රතාවට කොතරම් දරුණු අන්දමකට මුහුණ දී සිටියා දැයි කිවහොත් නැවත විදුලිය ලබාගැනීම සිහිනයක් බවද ඒ ගම්වැසියන් කියා තිබිණි.

මේ ගැටලුවේ බරපතළම කාරණය වන්නේ මේ ගම්වැසියන් දවල්ටත් රෑටත් එකවේලක් පමණක් ආහාරයට ගන්නා තරමට ආර්ථික වශයෙන් වළපල්ලට වැටී සිටීමයි. තමන්ට සමෘද්ධිය ලැබුණත් එය ප්‍රමාණවත් නැති බව ඔවුහු කියති. ඉහළ ගෝනෑව, තම්බියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එච්. සමරකෝන් මහතා තමන් ඇතුළු ප්‍රදේශවාසීන් මුහුණ දී සිටින සැබෑ අසරණ තත්වය අපගේ වාර්තාකරුට විස්තර සහිතව පෙන්වා දී තිබිණි. තම බිරිඳත් දරුවනුත් කරුවලේ නිවෙසට වී සිටින බවත් තම බිල ගෙවා ගත නොහැකිවීම නිසා විදුලිය විසන්ධි කර විදුලිය රැහැන ද ගලවාගෙන ගෙන ගිය බවත් ඔහු ප්‍රකාශ කර තිබුණේ කඳුළු සලමිනි.

මෙවැනි අසරණ තත්වයකට වැටී සිටින දරු පවුලක් හැඬූ කඳුළින් දවස ගෙවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මෙලෙස සැබෑ ලෙසම අමාරුවේ වැටී කරුවලේ සිටින්නේ වල් අලින්ගේ ප්‍රහාර මැදය. ඔවුන්ගේ ජීවිතය පවා දැඩි අවදානමකට ඇද දමා තිබේ. අඩුම තරමින් වල් අලින්ගේ ප්‍රහාරවලට ලක්වන ගම්වැසියන්ගේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින තීන්දුවක් ගැනීමට හෝ බලධාරීන් ක්‍රියා කළ යුතු  බව අපගේ වැටහීමයි.

මේ ගැටලුවට ඉක්මන් විසඳුමක් නැත. එහෙත් ඒ ගම්වැසියන්ට අඳුරේ සිටීමට ඉඩ හැර බලා සිටීමට ආණ්ඩුවට යුතුකමක් ද නැත. රටක ජනතාවගේ ආරක්ෂාව ඕනෑම ආණ්ඩුවක අංක එකේ ප්‍රමුඛතාව විය යුතුව තිබිය දී වල් අලි ප්‍රහාර මැද දිනකට එක වේලක් ආහාරයට ගන්නා ගම්වැසියන් පිරිසකට අඳුරේ ඉන්නට ඉඩහැර බලා සිටීමට හැකියාවක් තිබිය නොහැක. මේ වැසියන්ගේ ගැටලුවට තාවකාලිකව විසඳුමක් හෝ ලබාදීමට ඒ ප්‍රදේශයේ දේශපාලකයන් හෝ ඉදිරිපත් විය යුතු නොවේ ද?

අනුරාධපුර ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සිරි කුලරත්න මහතා ප්‍රකාශ කර තිබුණේ තන්තිරිමලේ ප්‍රදේශයේ විදුලි පාරිභෝගියන් 155 දෙනකුගේ විදුලිය විසන්ධි කළ බවත් ඉන් 75 දෙනකු යළි විදුලිය සබඳතාව ලබාගෙන ඇති බවත්ය. එසේ නම් ඉතිරි පාරිභෝගිකයන් යළි විදුලිය ලබාගැනීමට හැකියාවක් නොමැති පිරිසකි. ඔවුන්ගේ ගැටලුව තවදුරටත් ඇදීයාමට ඉඩ දිය යුතු නැත.

මෙවැනි ගැටලු මතුවීමට තවත් එක් ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ ග්‍රාමීය පළාත්වල යටිතල පහසුකම් සම්බන්ධයෙන් සොයා බැලීමට එම ප්‍රදේශවල ජනතාව විසින් පත්කරගනු ලබන පළාත් පාලන ආයතන සියල්ල දැන් මාස ගණනාවක් තිස්සේ අක්‍රිය තත්වයෙන් පැවතීමය. දේශපාලන ලොකු ලොක්කන්ගේ කඹ ඇදිලි සහ දේශපාලන තීන්දු හේතුවෙන් අද ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ හඬ නියෝජනය කිරීමට  මන්ත්‍රීවරුන් නැත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දේශපාලන තීන්දු ගැනීමට හැකියාවක් නැති අතර පළාත් පාලන ආයතන කාර්ය භාරය ආවරණය කිරීම ඔවුන් අතින් සිදු නොවේ. අවසානයේ සිදුව ඇත්තේ දේශපාලන නායකයන් ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට ප්‍රමුඛතාව ලබාදී තිබියදී ජනතාවට අඳුරේ සිටීමටය. එය සිදුවිය යුතු නැත.                          

(***)



අදහස් (0)

දේශපාලකයන් නොදන්නා ගමේ විදුලි කප්පාදුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site