IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


දයාසිරිගේ මැති ඇමැති වාහන පාවිච්චිය ගැන කතාව මසුරන්

අපේ රටේ මැති ඇමැතිවරුන් තමන්ගේ වියහියදම් අඩුකර ගැනීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන්නේ කලාතුරකිනි. එවැනි කලාතුරකින් සිදුවන කතාවක් පසුගියදා ශ්‍රීලනිපයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් කියැවිණි. මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියෙන් සහ පසුපසින් යන බැකප් රථවාහන සංඛ්‍යාව අඩුකළහොත් ඉන්ධන සඳහා වැයවන විශාල මුදලක් ඉතිරි කළ හැකි බව එහිදී දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයේ සඳහන් විය. ජාවත්ත ප්‍රදේශයේදී පසුගියදා පැවැති උත්සවයකට පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ඔහු කියා තිබිණි.

අවවාදයට වඩා ආදර්ශය උතුම් බව අපි දනිමු. ඒ බව මැති ඇමැතිවරුද දැන සිටිති. ඒ බව දැන සිටියත් බොහොමයක් මැති ඇමැතිවරුන් කරන්නේ අවවාද දීම පමණි. ඔවුන්ගෙන් බොහෝ විට දකින්නට ලැබෙන ආදර්ශ සුදුසු ගණයට වඩා වැටෙන්නේ නුසුදුසු ගණයටය. එහෙත් දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා බැකප් රථවාහන අඩුකළ යුතු බව පෙන්වා දෙන්නේ තමාම ඒ සඳහා ආදර්ශයක් වෙමිනි. තමා පසුපසින් යන ආරක්ෂක රථයක් භාවිත නොකරන බව ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

වර්තමානයේ මැති ඇමැතිවරුන්ට යුද්ධ කාලයේදී මෙන් ආරක්ෂාවක් අවශ්‍ය නොවන බවද ඒ මහතා පෙන්වා දී තිබිණි. ජනාධිපතිවරයා පවා තමන් සමඟ යන වාහන සංඛ්‍යාව අඩුකර ගනිමින් ආදර්ශයක් දී ඇතැයි සඳහන් කර තිබූ රාජ්‍ය ඇමැතිවරයා ආරක්ෂක රථ වැඩි වශයෙන් භාවිත කරන මැති ඇමැතිවරුන් සිටිත් නම් ඔවුන්ද මේ අවස්ථාවේදී කැපවීමක් කළයුතු බවද සඳහන් කර තිබිණි.

දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයාගේ මේ අවවාදය සහ ආදර්ශය සමඟ අපිද සියයට සියයක්ම එකඟ වෙමු. රාජ්‍ය වියදම් කළමනාකරණයේදී මැති ඇමැතිවරුන්ගේ අනවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන ඕනෑ එපාකම් සඳහා මුදල් වැය කිරීම මහා අපරාධයක් බව අපි වරින්වර අපගේ කතුවැකිවලින් පෙන්වා දී ඇත්තෙමු. එසේම අඩු වියදමින් කටයුතු කර රටට මුදල් ඉතිරි කරදෙන ඇමැතිවරුන්ගේ යහපත් ක්‍රියාද අපි පෙන්වා දෙමු. එහෙත් අවාසනාවකට මෙන් වැඩිපුරම පෙන්වා දීමට සිදුව ඇත්තේ මැති ඇමැතින් තමන්ට ලකුණු දමා ගැනීමට සිදුකරන නාස්තිකාර ක්‍රියා සහ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් කාබාසිනියා කර දමන බොරු ෂෝක් වැඩ සම්බන්ධයෙන් වීම ලොකුම කනගාටුවය.

පසුගිය යහපාලන සමයේදී රාජගිරියේ සුවිසල් ගොඩනැගිල්ලක් සඳහා මාසයකට රුපියල් කෝටි 3කටත් වඩා අධික කුලියක් ගෙවීමට සිදුවීම මෙවැනි නාස්තිකාර ක්‍රියා සඳහා එක් හොඳම උදාහරණයකි. මේ සමස්ත ගනුදෙනුව හේතුවෙන් රටේ ජනතාවගේ බදු මුදල් රුපියල් කෝටි තුන්සීයකටත් අධික ගණනක් වතුරේ ගිය බවත් අවසානයේ කිසිදු වැඩක් ගැනීමට නොහැකි වූ එම ගොඩනැගිල්ල සුදු අලියකු බවට පත්වූ බවත් පුන පුනා ප්‍රකාශ විය. එහෙත් එයට වගකිවයුතු කිසිවකු හෝ ලැබූ දඬුවමක් නැත. දඬුවම් ලැබුවේ එවැනි නාස්තිකාර ක්‍රියාවලට විලිබිය නොමැතිව දායක වන දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට පත්කර එවූ ජනතාවමය.

එපමණක් නොව ඊට පෙර කාලවලදී ද මෙවැනිම ක්‍රියා සිදු වී තිබේ. වරක් එවකට සිටි ඇතැම් බලවත් දේශපාලන පවුල්වල තරුණයන්ගේ පෙම්වතියන්ට පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ බල්ලන්ට බෙහෙත් ගෙනදීම සඳහා ද රජයේ වාහන යොදාගෙන තිබූ බවට චෝදනා නැගිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ ඇමැතිවරුන් නොවන එහෙත් වරප්‍රසාද ලත් පන්තියේ කුමාරවරුන්ට සහ කුමාරියන්ට පවා මැති ඇමැතිවරුන්ගේ වාහන ලබාදි තිබූ බවද ප්‍රසිද්ධ රහසක් විය. ඇතැම් ඇමැතිවරුන්ට සිය ධුරය ලැබූ වහාම අවශ්‍ය වන්නේ හැකිතරම් සුඛෝපභෝගී වාහන සංඛ්‍යාවක් තමන් සන්තකයට ගැනීමටය. ඒ ඉහත සඳහන් අවශ්‍යතා සපුරා ගැනීමට මිස රටේ යහපත සඳහා නම් නොවන බව දෙකේ පන්තියේ දරුවකුට වුවද තේරුම් ගැනීම අපහසු නැත.

මැති ඇමැතිවරුන්ට ආරක්ෂාව සපයන බැකප් රථවලට යෙදවෙන්නේ ඉන්ධන පිරිමැසුම් පන්තියේ වාහන නොවේ. එම විශාල රථවලට ඉන්ධන විශාල වශයෙන් වැයවෙයි. එපමණක් නොව ඒ සඳහා රාජකාරියේ යෙදවෙන පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් සහ පොලීසියේ වෙනත් නිලධාරීන් සඳහාද විශාල මුදලක් වැය කෙරෙයි. එතරම් විශාල වාහන සංඛ්‍යාවක් සහ මුදලක් මැති ඇමැතින් වැයකරන්නේ කාගෙන් ආරක්ෂා වීම සඳහාද යන්න මෙහිදී පැනනගින විශාලම ගැටලු‍වය. රටේ ජනතාවගේ වෛරයට පාත්‍ර නොවන තාක් කිසිදු මැති ඇමැතිවරයකුට තම ආරක්ෂාව පිළිබඳව ගැටලු‍වක් තිබිය නොහැක. ඇතැම් ඔල්මාදකාරයන්ගෙන් එල්ල විය හැකි අනපේක්ෂිත තර්ජන මැඩ පැවැත්වීමට ඒ සඳහා පුහුණුව ලත් නිල අඳුමින් සැරසුණු නිලධාරීන් දෙතුන් දෙනකු වුවද සෑහෙන බව අපගේ වැටහීමය. දිවයිනේ නමගිය අපරාධකරුවකු කැඳවාගෙන යන ආකාරයේ ආරක්ෂාවක් යොදාගෙන ඇමැතිවරයකුට හෝ වෙනත් රජයේ නිලධාරියකුට ගමන් බිමන් යාමට සිදුවී ඇත්නම් එහි වරද ඇත්තේ රටේ ජනතාවගේ විය නොහැක.

කෙසේ වුවද එවැනි නාස්තිකාර ක්‍රියා සිදුනොකරන මැති ඇමැතින්ද සිටින බවද දයාසිරි ජයසේකර මහතා එහිදී කියා තිබිණි. ඒ මැති ඇමැතින් තම වියදම් කප්පාදු කර, අලු‍ත් වාහන. ගොඩනැගිලි හෝ මේස පුටු වෙනුවෙන් මුදල් වෙන්කිරීම නවතා ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි. එවැනි කැප කිරීම් අපිද අගය කරමු. එවැනි කැප කිරීම් කරන මැති ඇමැතින් කෙරෙහි ජනතාවගේ ප්‍රසාදයද පවතින බවත් පෙන්වා දිය යුතුය. එහෙත් ජනතාවගෙන් ඈත් වී පොලිස් - හමුදා වාහන පිරිවරාගෙන ගමන් බිමන් යමින් මහා මුදල් නාස්තියක්ද සිදුකරන මැති ඇමැතින් ජනතාවගේ වෛරයට පාත්‍ර වන බවද ඒ සමඟ කිව යුතුය.

(***)



අදහස් (2)

දයාසිරිගේ මැති ඇමැති වාහන පාවිච්චිය ගැන කතාව මසුරන්

pinsiri Friday, 12 November 2021 11:10 AM

වර්ග සැතපුම් 65000, ජනගහනය කෝටි 2.5ට ඇමැතිලා 5යි, පළාත් සභා මන්ත්‍රීලා 50යි, ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා 200යි... දියුණු වෙනකම් ශ්‍රී ලංකාවට ඇති... අන්න වෙනසක් කරනවා නම්..

:       0       3

Sudda Friday, 12 November 2021 11:28 AM

දයාසිරි අනික් අයට කෙලින් යන හැටි කිව්වට එයාගේ කිල්ලෝටෙත් හුණු තියෙනවා. ඔහු පහුගිය කාලයේ කොරෝනා හැදී හික්කඩුව පැත්තේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටිද්දී ඔහුගේ බිරිඳ ඔහුට කේක් ඇරියේ රජයේ වාහනයක් ගෙන්වලා. රත්මලානේ ඇඟලුම් පුහුණු ආයතනයේ වාහනයක් කොළඹ ගෙදරට ගෙන්වලා කේක් එකක් හික්කඩුවට ඇරපු බව මුළු ආයතනය පුරාම දන්නා දෙයක්. ඉන්ධන, රියදුරු වියදම, වාහන වියදම සියල්ලම මහජන මුදල්. එවන් කෙනෙක් තව දුරටත් තමන්ගේ පිරිසිදු කම ගැන කතාකිරීම වැදි බණ ඇරෙන්න වෙන මොනවද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1471 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site