
කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තය (ජැටිය) සම්බන්ධ ඉන්දියාව සමඟ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වී තිබේ. ඒ වෙනුවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ එය සංවර්ධනය කර පවත්වාගෙන යාමට රජය තීන්දු කර තිබේ. ඒ සමඟ බටහිර ජැටිය ඉන්දීය රජය සහ ජපාන රජය මගින් නම්කරනු ලබන පාර්ශ්ව සහ වරාය අධිකාරිය එක්ව රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමටද රජය තීන්දුවක් ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය කුමක්දැයි තවම දැනගන්නට නැත.
ශ්‍රී ලංකාවේ රජය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් එවැනි තීන්දුවක් ගන්නා තැනකට තල්ලු වූයේ වරායට සම්බන්ධ සියලු වෘත්තීය සමිති සෙසු බලවේග ගණනාවක්ද එකතුකර ගනිමින් පවත්වාගෙන ගිය අඛණ්ඩ උද්ඝෝෂණයට පිළිතුරක් වශයෙන් බව පැහැදිලිය. එම උද්ඝෝෂණවලට සහාය දැක්වූ රජය ඇතුළේ විවිධ මත දරන පක්ෂ නායකයන් විසින් ඇතිකරන ලද බලපෑම් රජය මේ තීන්දුව ගැනීමට හේතු වී යැයි සිතාගැනීම අපහසු නැත. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබූ ස්ථාවරයට සහමුලින්ම වෙනස් තීන්දුවක් ගැනීමට රජයට සිදුවීම එම බලපෑම කොතරම් බලවත් දැයි පෙන්නුම් කරයි.
රටේ දේශීය සම්පත් ආරක්ෂා කර සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීමට මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ ජාතික බලවේගවලට තිබෙන අයිතියට අපි ගරුකරමු. රටේ සම්පත් විකුණාගෙන කන තැනකට රටක් පත්විය යුතු නැත. එහෙත් රට සංවර්ධනය කිරීමේදී ජාත්‍යන්තරයද සම්බන්ධ කර ගනිමින් විවිධ ක්‍රමෝපාය අනුගමනය කිරීමට රජයකට තිබෙන අයිතියද ඒ සමඟ පිළිගත යුතු වෙයි. විශේෂයෙන් ඉන්දියාව වැනි අසල්වැසි බලවත් රාජ්‍යයක් සමඟ ඇතිකරගන්නා ලද වෙළෙඳ ගිවිසුමකින් ඉවත්වීමට එකවර තීරණය කිරීම කිසිසේත් සුදුසු නැත. නැගෙනහිර ජැටියට සම්බන්ධ ගිවිසුමේ අනෙක් පාර්ශ්වකරු වන්නේ ජපානයයි. ජපානයද මේ රටේ සංවර්ධන කාර්යයේ ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන රටකි. මෙසේ පාර්ශ්ව තුනක් එකතු වී ඇතිකරගත් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමකින් ආරාධිත පාර්ශ්ව දෙකටම නොදන්වා තනි මතයට ඉවත්වීම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානියක් මිස යහපතක් වන්නේ නැත. එහි අහිතකර බලපෑම අනාගතයට බලපාන ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන බවද පෙන්වා දිය යුතුය.
රට සංවර්ධනය කිරීම අපට පමණක් තනිවම කළ හැක්කක් නොවේ. එසේ කළ හැකිව තිබිණි නම් අපේ රට නිදහස ලබා ගෙවී යන 73 වැනි අවුරුද්දේත් මේ තරම් ආර්ථික වශයෙන් දරුණු අවපාතයකට වැටී සිටින්නේ නැත. තවමත් මේ රටේ දියුණු වූ පොදු ගමනාගමන සේවාවක් නැත. ජනතාව විදුලිබිලට ගෙවන්නේ ලොවේ සෙසු රටවලට සාපේක්ෂව ඉතාම ඉහළ මිලකි. එවැනි බිලක් ගෙව්වත් විදුලිබල මණ්ඩලය වාර්ෂිකව රුපියල් බිලියන සිය ගණනින් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්ව තිබේ. මේ එක් උදාහරණයක් පමණි.
මේ තිත්ත යථාර්ථය අමතක කොට සෑම ජාත්‍යන්තර ආයෝජනයක්ම රටේ සම්පත් විකිණීමක් වශයෙන් හුවා දක්වමින් සිදුකරන පටු දේශපාලනය මේ රටට අනර්ථයක්, හානියක් මිස යහපතක් වන්නේ නැත. ඉන්දියාව සහ ජපානය සමඟ ගිවිසුමෙන් ශ්‍රී ලංකාව තනි මතයට ඉවත්වීමෙන් ඒ බව පෙන්නුම් කරන බව අපගේ වැටහීමය. ජාත්‍යන්තර ගනුදෙනුවලදී සියලු පාර්ශ්වවල ගෞරවය රැකෙන බවට වගබලා ගැනීම සෑම රටකම වගකීමකි. එම වගකීම අප රට අතින් මෙහිදී ගිලිහී ගොස් ඇති බව පැහැදිලිය.
අමාත්‍ය මණ්ඩලය මගින් මේ තීණ්දුව ගනු ලැබුවේ ‘‘ඒකමතිකව’’ බවද වරාය බාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය. ඉන්දියාව සහ ජපානය සමග එළැඹි ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව රජය මගින් වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කර පවත්වාගෙන යන බවද එම ප්‍රකාශයේ සඳහන්ය. කෙසේ වුවද නැගෙනහිර ජැටියේ කන්ටේනර් ව්‍යාපාරික ධාරිතාවෙන් සියයට 70ක් මෙහෙයවනු ලබන්නේ ඉන්දීය සමාගම් මගින් බවද මෙහිදී අමතක නොකළ යුතුය. ඉන්දියාවේ ‘‘ජ්‍යෙෂ්ඨ’’ ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් ‘‘ද හින්දු’’ පුවත්පත සඳහන් කර තිබුණේ ‘‘ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් පවතින බැවින් ශ්‍රී ලංකාව මේ ගිවිසුම සම්බන්ධව ඒකපාර්ශ්වික තීන්දුවක් නොගනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වන බවය. එහෙත් දැන් ශ්‍රී ලංකාව තනි මතයට ජාත්‍යන්තර ගිවිසුමකින් ඉවත් වී තිබේ. එවැනි තීන්දු ගනිමින් රටේ ගුවන්තොටුපොළ විවෘත කර පිටරටින් ආයෝජකයන් එනතුරු අපි බලා සිටිමු. තව කොතරම් කලක් අපි මෙසේ සිටිමුද?
ජාතික ගීය සහ ජාතික කොඩිය
73 වැනි නිදහස් දිනයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කෙරෙනු ඇතැයි රජය ප්‍රකාශ කරයි. පසුගිය වසරේදී ද ජාතික ගීය ගායනා කෙරුණේ සිංහල භාෂාවෙන් පමණි. යහපාලන රජය කාලේ නිදහස් දිනයේදී ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂාවලින් ගායනා කිරීමෙන් මෙරට ප්‍රතිසංධාන වැඩපිළිවෙළේ එක් තීන්දුවක් අර්ථවත් කෙරිණි. 1948 නිදහස් දින පළමු සැමරුම් අවස්ථාව උදා වනවිටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීයේ දෙමළ භාෂා පරිවර්තනය සඳහන්ව තිබිණි. එසේ තිබියදීත් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීමේ වැරැද්ද කුමක්ද යන්න පැහැදිලි නැත.
රටේ ප්‍රධාන භාෂාව වන සිංහල සහ ඊළඟට වඩාත්ම භාවිත වන නිල භාෂාව වන දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම නවත්වා දැමීම ජාතීන් අතර අනන්‍ය විශ්වාසය සහ ගෞරවය රැක ගැනීමට හේතුවනවාද එය තවදුරටත් ඇත් කිරීමට හේතුවනවාද යන්න කල්පනාවට ගැනීම යහපත් යැයි අපි සිතමු. මෙරට සුළුජාතීන් පීඩාවට පත්කරන බවට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය අවි අමෝරාගෙන සිටින තත්ත්වයක් තුළ එවැනි තීන්දු ගැනීමෙන් සිදුවන්නේ එම මතය තවදුරටත් තහවුරු වීමක් බව අපගේ වැටහීමය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලොව කිසිම රටකට තනිව ජීවත්විය නොහැකිය. එයට හේතුව නම්, ලොව විශ්ව ගම්මානයක් හෙවත් globle village එකක් බවට පත්වී තිබේ. ජංගම දුරකතනයේ පටන් එහි සියළු දේ යොදාගන්නා අප සමහර දේ සඳහා අපගේ දැඩි අකමැත්ත පැවසේ. හරි වැරැද්ද පෙනෙනුයේ අපගේ දැමීමේ හා දැන උගත්කමේ හැටියටය. උදාහරණයකට, අපගේ දුම්රිය දෙපාර්තමේන්තුව ගතහොත්, ඊට යටවී තිබෙන ඉඩම් ප්‍රමාණය, අකාර්යක්ෂම සේවක මණ්ඩල ආදිය නිසා එයින් ඇතිවනුයේ අඩු ඵලදායීතාවකි. එහෙත්, එය විදෙස් සමාගමක් හා සම්බන්ධවී ලාබ ලබන අයුරින් සකස්කිරීම කරන්නේ නම්, රට හා ජනතාවට ප්‍රථිඵල ගෙන ආවත්, ජනතාව එක්වරම එයට විරුද්ධ වෙයි. ඉන්දියානු ගිලන්රථ සේවය පිහිටුවීමේදී එකල විපක්ෂ දේශපාලකයන් නොකීවේ නොකළේ මොනවාදැයි සිතා බැලීමෙන් ඔවුන් සැමගේ බොළඳ බුද්ධිය ගැන මොනවට පැහැදිලි වෙයි. අද එම ගිලන්රථ සේවාවෙන් වෙන අති මහත් සේවාව ඔවුන් අගයන්නේ නැත. රටක් දියුණු කිරීමට බොහෝවිට බාධා කරනුයේ දේශපාලන කුහකයන් හා ඒ ගැන හරි අවබෝධයක් නැත්තන් බව පෙනේ. සියල්ලන් කියනා අයුරින් නැටීමට සැරසෙනවා වෙනුවට රටත් බේරාගෙන වාණිජ අරමුණුත් දිනාගැනීමට රජයකට හැකිවිය යුතුය. ඒත්, එය මේ රජයට හකිවේ දැයි අපි නොදනිමු...
අයිස් ගහන යූනියන් කාරයින් මහා වීරකමක් කළා කියලා හිතන් ඇති. නැගෙනහිර ජැටිය තව කාලෙකට ඔය තියන තැනින් අඟලක්වත් දියුණු වෙන්නේ නෑ... ඒ වෙනුවට බටහිර ජැටිය බලන් ඉද්දි දියුණු වෙයි. නැගෙනහිර ජැටියේ ඔය තියන කෑල්ල හදලා දැන් අවුරුදු 7කට වැඩියි. තාම ඒක හරියට ක්‍රියාත්මක කරගන්න බැරිවුණු වරාය කරයි ඕක... නිලධාරිවාදයයි, අයිස් ගහන්න බලන් ඉන්න... බත් පැකට් එකටත් වර්ජන කරන යූනියන් කාරයොයි එක්ක ඕක දියුණුම කරයි. බලාගෙන ඉන්න. කොළඹ වරාය තව දියුණු කරගන්න තිබුණු අගනා අවස්ථාවක් විනාශ කරගත්තේ... රැජිණ පාලම පෞද්ගලීකරණය කිරීමෙන් කොළඹ වරාය දියුණු වෙච්ච හැටි හොයලා බැලුවා නම් තේරෙයි මේ ගත්තේ මෝඩ තීරණයක් කියලා.. අපි බලන් ඉඳිමු...
රටේ පවතින යතාර්ථය පිළිබඳව සමබර විග්‍රහයක්. මෙම වෘත්තීය සමිති ජයග්‍රහණය පිළිබඳව අප තුළ නම් පවතින්නේ ඉතාමත්ම අපැහැදිලි අදහස්ය. මක්නිසාදයත් එකදු වෘත්තීය සමිතියක් ප්‍රසිද්ධියේ සඳහන් කර තිබේද "අප වෙහෙස මහන්සිවී" අපගේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර රටේ දියුණුවට ඍජුවම දායකවන බවට? සේවකයන්ගේ අලස බව, සේවකයන්ගේ මන්දගාමී බව මගින් කෙසේ තම ආයතනය සංවර්ධනය කරන්නේද යන්න බාලාංශ දරුවෙකුට වුවද තේරෙන යථාර්තයකි. අප කිසිවිට රටේ සම්පත් විකුණා බඩගොස්තරය විතරක් ගැන පමණක් සිතමු යන්න කිසිවිට නොකියන්නෙමු. වංකව සේවය කර වංකව අතිකාල මුදල්, අර බටා, මේ බටා වංකව ලබාගෙන අපගේ දූ දරුවන්ගේ කුසගින්න නිවන්නේ නම් අප පව් කාරයින්ය. උපන් රටට ණය කාරයින්ය. අපගේ දරුවන්ටද කියා දෙන්නේ හොරකමින්ම ජිවත්වෙයන් දරුවනේ යන්න නොවේද? එල්ලෙන්න වැලේ වැල් නැති රතුහැට්ටකාරයින්ද මෙම සටනේදී දියව් දියව් කිව්වත් තමන් එම සේවකයින්ට කිසිදා කියා තිබේද තම සේවය නිසිලෙස ඉටුකරමින් තම අයිතිවාසිකම්, ආයතනය ආරක්ෂා කිරිම පිළිබඳව සටන්වලට පැමිණෙන ලෙස? පිළිතුර නැත.
ආයෝජනය යන්න විකිණීමක් නොවන බව දැනදැනත් ඔවුන් සියලුදෙනා කළේ ප්‍රශ්නය සංකීර්ණ කර ගැනීමක්. බොහෝ අයට අවබෝධ වී ඇති කල ක්‍රියාවේ තරම... එහෙත් බලය නැති අය කුහක සතුටක් ලබනවාත් ඇති...
පසුගිය රජය ගිවිසුම මගින් යෝජනා කලේ නැගෙනහිර පර්යන්තය පාලනයට පමණක් වෙනම සමාගමක් බිහි කිරීමටයි. නමුත් මේ රජය ආයොජනයක් කියා කොලේ වහමින් උත්සාහ කලේ 49% ක කොටස් විකිණීමටයි. එම නිසා පසුගිය රජය අත්සන් කළ ගිවිසුම අනුව කටයුතු කළා නම් මේ කිසි අවුලක් නැත. පසුගිය රජය සමග වූ ගිවිසුම ක්‍රියාත්මක කළා නම් නැගෙනහිර පර්යන්තයේ 1%ක් වත් කොටස් පිටරටට විකිණෙන්නේ නැත. කොමිස්වලට මෙ රජයේ බලධාරීන් යට වුණාදැයි සැක සහිතයි...