
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ කිරීම 2015 සිට 2019 වසර දක්වා ප්‍රමාද වීම නිසා රටට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 800ක් බව හෙළි වී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප්) මේ තොරතුරු අනාවරණය වී තිබිණි. එහි දී සිදුව ඇති අක්‍රමිකතා අතර ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් කෝටි 170ක් පමණ වැය වී ඇති බව ද ඒ තොරතුරු අතර විශේෂයෙන් සඳහන් වෙයි.
අධිවේගී මාර්ග ඉදිකිරීම රටක සංවර්ධනයේ ඉදිරි පිම්මකි. එවැනි මාර්ග ඉදිකිරීම අපේ රටේ ආර්ථිකයට කොතරම් දුරට ඔරොත්තු දෙනවා ද යන්න වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි. එහෙත් නිසි ලෙස වර්ධනය නොවෙන මහාමාර්ග පද්ධතියකින් තොරව රටකට ඉදිරි ගමනක් නැත. මේ හේතුව නිසා කුමන රජයක් යටතේ වුව ද මහාමාර්ග සංවර්ධනයට විශාල මුදලක් වෙන් කෙරෙයි. එහෙත් එසේ වෙන්කෙරෙන මුදල කිසිදු ප්‍රයෝජනයක් නොගෙන කාබාසිනියා කිරීම බරපතළ වැරැද්දකි. කෙසේ වුව ද එවැනි වැරැදිවලට අපේ රටේ පවතින ක්‍රමය තුළ වැරැදිකරුවන් හෝ වගකිවයුත්තන් හෝ සොයාගැනීමට නොහැකිවීම මෙවැනි නාස්තිකාර වියදම් දිගටම සිදුවීමට හේතු වී තිබේ.
රුපියල් කෝටි 800ක් යනු සුළුපටු මුදලක් නොවේ. බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අපේ රටට මෙවැනි නාස්තිකාර ක්‍රියා විශාල හානියකි. මහා පරිමාණ වැඩක් ප්‍රමාද කිරීම නිසැකවම අතිරේක වැය බරකට හේතු වෙයි. එම ඉදිකිරීමට මුදල් සැපයෙන්නේ වෙනත් රටක ණය මත නම් ප්‍රමාදය යනු එම ණය ප්‍රමාණයට අතිරේක බරක් පැටවීමකි. රට තුළින්ම සැපයෙන මුදලක් නම් එය රටේ ආර්ථිකයට අනවශ්‍ය බරකි. මේ ක්‍රම දෙකේම අවසාන ප්‍රතිඵලය කිසිදු වැඩක් සිදුවීමකින් තොරවම රටේ ජනතාවගේ බදු මුදල් වැය වී යාමය. මෙවැනි නාස්තිකාර ක්‍රියා කවදා කෙසේ නිමවනු ඇතිදැයි අදහසක් හෝ ඇතිකර ගැනීමට පවතින වර්තමාන ක්‍රමවේද තුළින් කිසිදු පිළිසරණක් නොමැති වීම ලොකුම ඛේදවාචකයයි.
මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම්වල දී සිදු වූ ප්‍රමාද වීම්වලට හේතුව යහපාලන ආණ්ඩුවේ දේශපාලන ඇඟිලි ගැසීම් බවට තොරතුරු ද මේ පිළිබඳ සොයා බලන කෝප් කමිටු රුස්වීමේ දී හෙළි වී තිබිණි. ශක්‍යතා අධ්‍යයනයට කෝටි 170ක් තරම් නාස්තියක් සිදු වී ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව සමාගමක් තෝරාගැනීම බවත් ඒ හේතුවෙන් ශක්‍යතා අධ්‍යයන කිහිපයක්ම කිරීමට සිදු වූ බවත් සඳහන් වෙයි. එය පළමු කොටසේ ප්‍රමාදයට ද හේතු වී තිබිණි. ඒ හැර තෙවැනි කොටසේ දී (පොතුහැර – ගලගෙදර) පවා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා සිදුව ඇති බවත් මේ හේතුවෙන් එම ක්‍රියාවලිය තවමත් අවසන් කිරීමට නොහැකිව තිබෙන බවත් අනාවරණය වී තිබිණි. එයට හේතුව වශයෙන් සඳහන් වන්නේ එවකට තිබූ යහපාලන රජයේ ආර්ථික කටයුතු පිළිබඳ කමිටුවේ බලපෑමය. කුමන රජයක් යටතේ වුව ද රට ආපස්සට හරවන මෙවැනි ක්‍රියා නොසිදු විය යුතු අතරම පවතින රජය ද එවැනි ක්‍රියාවලට රුකුල් දීමෙන් වැළකිය යුතුය.
මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාදයට බලපෑ මුල් ව්‍යාපෘතිය වෙනස් වීමෙන් සිදු වූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන්නැයි කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබිණි. එය යහපත් පියවරක් වුවද අපේ රටේ ඉතිහාසය විසින් පෙන්වා දී ඇත්තේ මෙවැනි වාර්තා අවසානයේ නවතින්නේ හමස් පෙට්ටියේ බවය. එසේම මෙවැනි වාර්තාවලින් මේ රටේ වගකිව යුතු කිසිදු දේශපාලනඥයකුට චෝදනා එල්ල නොවෙන බවය. විවිධ ලිපි ලේඛනවලට අත්සන් ගැසූ අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනකු අමාරුවේ වැටෙනවා හැර සැබෑ ලෙස වගකිව යුතු වන ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව තීන්දු තීරණ ගත් දේශපාලනඥයන්ට කිසිම අවැඩක් සිදුවන්නේ නැත. ඒ අර්ථයෙන් ගත් කල මහාචාර්ය චරිත හේරත් මහතා විසින් කැඳවනු ලැබූ වාර්තාවට ද මේ ක්‍රමය යටතේ වෙනත් ඉරණමක් අත් වීමට ඉඩක් නැත.
නිදහස ලබා වසර 73ක් ගත වෙමින් තිබිය දීත් අපේ රටට තවමත් ප්‍රමාදයකින් තොරව අධිවේග මාර්ගයක් ඉදිකර ගැනීමට නොහැකි වීම පිළිබඳව අප ලජ්ජා විය යුතුය. දේශපාලන කෝණවලින් බලා රටේ සංවර්ධනය මෙහෙය වීමට ගන්නා උත්සාහයේ අමිහිරි ප්‍රතිඵලවලින් මෙය එකක් පමණි. ආණ්ඩුවක් වෙනස් වීමෙන් පසුව පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන ලද අක්‍රමිකතා සොයා බැලීමෙන් පමණක් මේ ගැටලුව විසඳෙන්නේ නැත. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ස්ථිර ප්‍රතිපත්තිවලට අනුගත වන තෙක් මෙවැනි නාස්තිකාර ක්‍රියාවල නැවතීමක් බලාපොරොත්තු වීම මිරිඟුවක් පමණි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්කෙරෙන මුදල කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන කාබාසිනියා කිරීම බරපතළ වැරැද්දකි. කෙසේ වුවද එවැනි වැරැදිවලට අපේ රටේ පවතින ක්‍රමය තුළ වැරැදිකරුවන් හෝ වගකිවයුත්තන් හෝ සොයාගැනීමට නොහැකිවීම මෙවැනි නාස්තිකාර වියදම් දිගටම සිදුවීමට හේතු වී තිබේ. එතකොට කතුතුමා රාජ්‍ය විගණන අමාත්‍යාංශයක්, මුදල් අමාත්‍යාංශයක්, පාර්ලිමේන්තු වැය ශීර්ෂයක් තියන්නේ මොකටද?
2015න් පසු බිහිවූයැයි පුරසාරම් බෑ. ඊනියා ස්වාධීන ආයතන මේවා දැක නැත්ද? දැක ඇතත් නැතත් ඒවා ගැන සොයා නැත්තේ ස්වාධීන බවේ පරතරයටම පැමිණ මගඵල ලබා ගැනීම හේතුවෙන්ද යන්න පිළිබඳවත් සොයාබැලීම වටී.
කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල්, ඡන්ද අල්ලස් විදිහට දීලත් ඔය නිදහස් වෙන්නේ කට්ටිය. රුපියල් 2500 ගානේ දීලා තියෙන්නේ ගෙවල් අලුත්වැඩියා කරන්නලු. 2500න් මොනවද අලුත් වැඩියා කරන්න පුළුවන්? මේවට හිනාවුණොත් කන්දෙක ළඟින් කට ඉරෙනවා.
විනාශකාරී යහපාලන නඩය හැමපැත්තෙන්ම රටට කෙළෙව්වා..
මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න තිබ්බේ මාතර එකට ඉස්සෙල්ලා, නුවර අය ඡන්දෙ දුන්නේ නැති නිසා හැදුවේ නැහැ. ඔක්කොම අය හොඳට කොමිස් ගැහුවා. හරියට බැලුවොත් කටුනායක අධිවේගී එක හදලා ඉවර කරන්න තිබ්බේ 70 ගණන් වල. ලංකාවට ගිය කලක්. මිනිස්සුන්ට ඇත්ත දැනගන්න ඕනේ නැහැ. සර්ව සම්පූර්ණ දේශපාලනය කරන අය නැහැ.. හොඳම එක්කෙනා තෝරන්න ඕනේ.. බොරු නොකියන අපේ මිනිස්සු අාස බොරු කියලා හරි තමන්ව මුරුංගා අත්තේ තියන අයට.
ඔය 800 කියන්නේ අපේ මුදලින්.... නමුත් විදේශ මුදලින් කෝටි 04ක් පමණ වෙයි. එහෙම නැතිව ශක්‍යතා අධ්‍යයනය කරන්න පිටරටවලින් එන්නේ නැහැ. මහපරිමාණ ව්‍යාපෘති වලට ශක්‍යතා කරන විට අය කරන මිල ගණන් ගැන සාමාන්‍ය මිනිසුන් දන්නේ නැහැ. මෙවැනි ව්‍යාපෘති අවුරුදු ගණනාවකටයි හදන්නේ. හැම ප්‍රදේශයකම පස් පවා රැගෙන පරීක්ෂා කළ යුතුයි... නිදසුනක් ලෙස සාමාන්‍ය අට පාස් අයට මෙය මෝඩ වැඩක් විය හැකියි.
චරිත හේරත්ට පුලුවන්ද මහා පරිමාණ දූෂන, වංචා හොයන්න. වාර්තා ලබා ගෙන හොයලා දඬුවම් කරන්නද? ඔයාලත් අරගොල්ලො වගේමයි.
යහපාලනේ හරක් තමයි ඉතින්... කරපු මගෝඩි වැඩ එළියට එන්නේ දැන් දැන්... 2015 දී කිව්ව වෙනස මාරයි... රට හමාරයි... කියලා පේනවනේ.