හෘදය සාක්ෂියක් සහිත සියලු මිනිසුන් කම්පනය කිරිමට ඉකුත් 9 වැනිදා කළු සඳුදා සමත් විය. ගාලු මුවදොර පිටියේ සාමකාමී හා අලංකාර උද්ඝෝෂණයක නියැලුණ නිර්පාක්ෂික අරගලකරුවන්ට එල්ල වූ තුච්ඡ ප්‍රහාරයත් සමග එවැනිම පන්තියේ ප්‍රති ප්‍රහාරයක් එල්ල විය. මැති ඇමැතිවරුන් විශාල පිරිසකගේ නිවාස හා දේපොළ සඳුදා රැය මුළුල්ලේ ගිනි ගත්තේය. ඒ අතරවාරයේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය රැකවලා සමග මහ මගදී ප්‍රහාරයකට ලක්ව මෙලොවින් සමුගත්තේය.

බුදුන් පහස ලද පුණ්‍යවන්ත භූමිය,  පන්දහසක් කල් රක්නා රට යැයි විරුදාවලිය ලත් මේ රට මෙතරම්ම පිරිහීමට ලක් වූයේ ඇයිද යන්න විමසීම අත්‍යවශ්‍යය. මන්දයත් රටක් ගමන් කරනු ලබන්නේ මෙබඳු දුර්දාන්ත මාවතක නම්  නියත වශයෙන්ම හමුවන්නේ පරාජය සහ විනාශය පමණි. තම දූපුතුන්ට එබඳු ශාපලත් රටක් අත්කර දීමට කිසිවකු කැමති වන්නේ නැත. ඉරණම වෙනස් කිරීම සඳහා සියල්ලන්ගේම දායකත්වය නිර්ලෝභිව අවශ්‍ය වන්නේ එහෙයිනි.

මිනිස් සමාජයක යහ පැවැත්ම සඳහා එම සමාජයේ ජීවත්වන සාමාජිකයන්ගේ මූලික අවශ්‍යතා සපුරාලිය යුතුය. ආහාර, නිවාස, සෞඛ්‍ය, ඇඳුම් පැළඳුම් ඒ අතර ප්‍රධානය. ප්‍රවාහන පහසුකම් මෙන්ම විදුලියද ගෑස් ද අත්‍යවශ්‍ය පහසුකම් බවට පත්වී තිබේ. මේ සේවා ජාලය බිඳ වැටීම සමාජයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වීමට හේතු වේ. එය කිනම් මාදිලියකින් පුපුරා යා හැකිද යන්න පුරෝකථන හැකියාවෙන් එපිටය.

රටේ බලධාරීන්ගේ ප්‍රධාන වගකීම වන්නේ රටේ ජනයාට පෙරකී පහසුකම් නිර්බාධකව ලබාගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමය. එහෙත් ජාතිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා ප්‍රකාශ කළේ ‘ඉදිරි මාස කිහිපය, ඔබට, මට ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදය ගත කිරීමට සිදුවේවි’ යනුවෙනි. එමෙන්ම දවසකට පැය 15 විදුලිය කැපීමට සිදුවිය හැකි බවත් තෙල් සංස්ථාවට ඩොලර් නොව රුපියලක්වත් සොයා ගැනීමට නොහැකි බවත්ය. බෙහෙත් අර්බුදය උග්‍ර බව අවධාරණය කළ අගමැතිවරයා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් හිඟ බවද, හෘද රෝග බෙහෙත් ඇත්තේම නැති බවද පැවසීය. පෝලිම් පාලනය කිරීමට නම් ඇමෙරිකන් ඩොලර් මිලියන 75ක් කඩිනමින් අවශ්‍ය බව අවධාරණය කළ අගමැතිවරයා සියලු ජනයාගේ ඇඟ හීගඩු පිපෙන භයානක පුවතක්ද අනාවරණය කළේය. එනම් පෙට්රල් තිබෙන්නේ දවසකට පමණක් බවය.

නිදහසෙන් පසු ගෙවා ආ හැත්තෑ හතර වසරක කාලයෙන් පසුව නිර්මාණය වී තිබෙන්නේ මෙබඳු රටකි. නවෝත්පාදන ආර්ථිකයක් සම්බන්ධයෙන් අවධානය යොමු  නොකළ පරිසරයක අවම තරමින් කෘෂිකර්මාන්තය, කර්මාන්තයක් වශයෙන් වැඩිදියුණු කළ යුතු විය. එහෙත් සිදු වූයේ පෙරදිග ධාන්‍යාගාරය යැයි විරුදාවලි ලත් බත බුලතින් සරුසාරව පැවැති දේශයට සහල් ආනයනය කිරීමට සිදුවීමය. එපමණක් නොව මතු දිනෙක ආහාර හිඟයක් ඇතිවන බවට එකක් පසුපස එකක් වශයෙන් අනතුරු ඇඟවීම්ද තිබේ. ප්‍රශ්නවලට කල් නොයවා පිළිතුරු සැපයීම බලධාරීන්ගේ වගකීමය.

අවධාරණය කළ යුතු වඩාත් වැදගත් කාරණාවක් තිබේ. එනම් මේ රට යනු තරුණ කැරලි දෙකක බර දරා උසුලා සිටින රටක් බවය. එමෙන්ම උතුරු බිමෙන් පැන නැගුණ යුද්ධයක බර උසුලා සිටින රටක් බවය. මේ රටට තව තවත් මිනී කඳු අවශ්‍ය නොවේ. එමෙන්ම රුධිර ගංගා අවශ්‍ය නොවේ. මේ රට මෙබඳු ශාපලත් ඉරණමකට යටත්වීමට මෙම සිදුවීම් ද නිසැකවම හේතුවී තිබේ. අප එමගින් මිදිය යුතුය. ඒ සඳහා ඇවැසි ප්‍රඥාව මෙම සමාජය සතුය.

අප සතු පරම ආධ්‍යාත්මික ශක්තිය වනුයේ අහිංසාවාදය වේ. දෙවැනිපෑතිස් රජු විනෝදය පිණිස තෝරාගෙන තිබුණේ මුවන් දඩයමය. එහෙත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග රජු අත වූ දුනු හී බිම ගිලිහුණි. එමගින් කියවෙන්නේ හිංසන මාර්ගය වෙනුවට අහිංසාවාදයට පිළිපන් බවය. අපගේ ජීවන දැක්ම නිර්මාණය වූයේ එමගිනි. ලොව කිසිදු ජාතියකට නොදෙවැනි අධ්‍යාත්මික බලයක් අප නිර්මාණය කරගනු ලැබුවේ එකී සදාචාර බලයේ මහානුභාවයෙනි.

අතිශයින්ම දුෂ්කර හා දුක්බර පැයේදිත්  අපගේ පරම බලය විය යුත්තේ එකී සදාචාර බලයම වේ. මේ රට යළිත් ගොඩනැගිය හැකි වන්නේත් එම බලයේ ආධාරයෙන් විනා අන් යමකින් නොවේ. ඉතිහාසයේ බරපතළ ඛේදවාචකයකට රට ගොදුරුව ඇති මේ මොහොතේ මෙම බැරෑරුම්කම අමතක කර කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැත. උපන් බිමට ණය නැති පුරවැසියකු මෙන් මියයාම ශ්‍රේෂ්ඨ යැයි ඇදහීම මේ මොහොතට අතිශයින් ම වැදගත් ය.

(***)

(ඡායාරූපය - ඩේලිමිරර් අනුග්‍රහයෙනි)