රජයේ කාර්යාලයක සේවය කරන මැදිවියේ පුද්ගලයකු වූ මොහු සිය නිවෙස පිහිටි ගෙවත්ත ඉතා අලංකාරවත් ලෙස පවත්වාගෙන යන අයෙකි. රාජකාරියෙන් බැහැරව සිටින සෑම අවස්ථාවකදීම වෙනත් විශේෂ හේතුවක් නොමැති නම් ඔහු සිය කාලය හා ශ්‍රමය යොදවන්නේ මෙම ගෙවත්තේ සංවර්ධන කටයුතු සඳහා ය. මේ සඳහා ඔහුට ඔහුගේ බිරිය හා දරුවන්ගෙන් ද නොමද සහයක් ලැබෙන බව ඔහු කියයි.
එළවළු, පළා වැනි කෙටිකාලීන බෝග ද පලතුරු හා විවිධ මල් වර්ග ද අලංකාර ගස් වර්ග ද මෙම ගෙවත්තෙහි පිළිවෙළකට වගාකර ඇත. මේවායෙහි පල දරන කාලයට එම ඇතැම් පල ආහාරයට ගැනීම සඳහා ගෙවත්තට එන විවිධ පක්ෂීන්ගෙන් ද අඩුවක් නැත. එය තමන්ට මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ සතුටට මෙන්ම මානසික සුවයට ද හේතුවක් බව ද ගෙවතු හිමියා කියයි. මේ නිසා ඔහු ගෙවත්තෙහි වගාවල පල ඇති කාලයට පමණක් නොව පල නැති කාලයට ද ගෙවත්තට පක්ෂීන් ගෙන්වා ගැනීමට ද පියවරක් ගත්තේය.
ගෙවත්තෙහි සුදුසු ස්ථානයක සකස් කළ උපකරණයක් මත තැබූ විවෘත බඳුනකට දිනපතාම පලතුරු වර්ග දමන්නට හෙතෙම පටන් ගත්තේය. මෙය ඔහු රාජකාරියට යන නොයන සෑම දිනකම දවසේ ප්‍රථම රාජකාරිය බවට පත්කර ගත්තේය. ඒ අනුව දැන් ගෙවත්තේ වගාවල පල ඇතත් නැතත් පක්ෂීන්ගෙන් ද අඩුවක් නැත.
පසුගිය දිනක ඔහු සුපුරුදු පරිදි රාජකාරියට යාමට සූදානම් වී මුළුතැන්ගෙට ගොස් බිරියගෙන් පක්ෂීන්ට දෙන පලතුරු ගැන විමසා ඇත. නමුත් කිසියම් අතපසුවීමක් නිසා බිරිය එදින සුපුරුදු පරිදි පක්ෂීන්ගේ කෑම වේලට අවශ්‍ය පලතුරු රැගෙනවිත් තිබුණේ නැත. මෙම අවස්ථාවේ දී සැමියා ඇමතූ බිරිඳ ඔයා වැඩට යන්න මම ඉක්මනට කඬේට ගිහින් මොනවත් ගෙනත් කුරුල්ලන්ට දමන්නම් යැයි පවසා ඇත. නමුත් ඔහුගේ හිතට එය හරි මදිය. ඒ නිසා ඔහු මුළුතැන්ගේ තුළ ඒ මේ අත විපරම්කරන්නට විය. එහිදී ඔහුට ඉදුණු කෙසෙල් ගෙඩියක් හමුවිය. එමගින් හිත සනසාගත් ඔහු එය ද රැගෙන ගෙවත්ත හරහා රැකියාවට යාමට නිවෙසින් පිටත් විය.
දැන් ඔහු රාජකාරියට ගොස් ය. මේ අතර ඔහුගේ බිරිය නුදුරු වෙළඳ සලකට ගොස් කෙසෙල් ඇවරියක් මිලදී ගෙන ගෙවත්තට පැමිණියාය. එසේ පැමිණි ඇය කෙසෙල් ඇවරියත් රැගෙන පක්ෂීන්ට ආහාර දමන බඳුනට එය දමන්නට ගියාය. එවිට එම බඳුනෙහි ජංගම දුරකතනයක් තිබෙනු ඇය දැක ඇත. මෙය තමාගේ සැමියාගේ ජංගම දුරකතනය බවට හඳුනා ගැනීමට ඇයට වැඩි වේලාවක් ගත නොවීය.
සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සිතාගත නොහැකිව කල්පනා කරමින්ම ඇය දුරකතනයත් රැගෙන ගෙවත්තේ සිට නිවෙසට ගොඩවූවා පමණි ඇගේ ජංගම දුරකතනය නාදවන්නට විය. එය ඇගේ සැමියාගෙන් වූ ඇමතුමකි. ඊට වහා ප්‍රතිචාර දැක්වූ ඇය මහ හයියෙන් සිනාසෙන්නට වූවාය.
හරි වැඬේනෙ තාත්තාට අද වෙලා තියෙන්නෙ. එයා උදේ කුරුල්ලන්ට දාන්න අරගෙන ගිය කෙසෙල් ගෙඩිය කලිසම් සාක්කුවට දාගෙන පෝන් එක කුරුල්ලන්ට කන්න දෙන භාජනේ දාල ගිහින්. මවගේ සිනා හඬ ඇසී ඒ ගැන විමසූ තම වැඩිමහල් දියණිය අමතා කාන්තාව එසේ කීවාය.
(මෙය වයඹ පළාතෙන් ඇසූ සත්‍ය කතාවකි.)
(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අටමගලයක් උනොත් ඉතින් වයඹම තමයි , කතාවනම් හිනා යනවා. (ර)
ඔන්න ඉන්දුලාගේ ගමේ ඇත්තන්ගේ විස්තරේ. (බ)
වයඹ ඔය වගේ වැඩක් උනානම් ඉතින් කොබෙයිගනේ වෙන්න ඕන.. (ර)
අනේ පව්.! එක දවසකට හරි කුරුල්ලන්ට කෑම නැති වීම ගැන හිත හිත හිටපු නිසාම පැටලිලා ෆෝන් එක පක්ෂීන්ගේ ආහාර බඳුනට දාන්න ඇති. මොන තරම් කරුණාවන්ත මිනිසුන්ද..? අපිත් කුරුල්ලන්ට කෑම දෙනවා .විවිද පාටින් ලස්සන කුරුල්ලෝ පොර කකා කෑම කන දර්ශනය, සිතට මොන තරම් ප්‍රීතියක් සහනයක් ගෙන දෙනවාද..? පන පිටින් කුරුල්ලෝ හම ගසන මිනිසුන් ඉන්නා රටක, මෙවැනි දෙවිවරුන් වැනි මිනිසුන් ගැන අසන්නට ලැබීමත් හිතට සතුට ගෙන දෙන්නකි. .මෙවැනි කරුණාවන්ත බිරිඳක් ලැබූ ඔහු වාසනාවන්තයෙකි. (ර)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවාතාවුන් වැනි මිනිසුන් ඇත" මෙවැනි මිනිසුන් ගැන අහන්න, කියවන්න ලැබීමත් වාසනාවක්. (ර)
ඔන්න නියම පුවත්. මේ වගේ දේ අහන්න ඉඩසැළසු ලංකාදීපයට ස්තුතියි. (නි)
ඔන්න පිටිගලලාගේ ගමේ ඇත්තන්ගේ විස්තරේ... (ර)
මම අහලා තියෙනවා එක්කෙනෙක් රෙදි මැද මැද ඉද්දි ජංගම දුරකතනයට කෝල් එකක් ආවලු.. එයා ෆෝන් එක වෙනුවට අයන් එක කනේ තියගත්තලු. (ර)
අපේ ගෙදර නම් නෙමෙයි ඔන්න. අපි දුප්පත්. (නි)
බලාගෙන ගියාම පිටිගලලාගේ ගමේ ඇත්තන් හොඳයි ඉන්දුලාගේ ගමේ ඇත්තන්ට වඩා. (නි)
නියම කතාව. අපි සතුටුවුණා හරියට (නි)
වයඹ කවුරුත් දන්නවා කට්ටියගේ මොලේ තරම එකනේ පිට ගංකාරයෝ රජවෙන්න වයඹට එන්නේ (අ)
අපේ කලේ දකින්න ලැබුණු සත් ගුණවත් මහත්මයෙක්. (අ)
ඉන්දු, ඉතින් ඊටපස්සේ මොකද වුණේ දන්නවද? (නි)
මේ මහතා පුරුදු වී ඇති සත්ක්‍රියාව ගැන සතුටුවීමත්, එය සමච්චලය පත්කර ගැනීමත් ගැන කණගාටුවිමත් පමණකි කළහැක්කේ. (නි)
ඔය වගේ අත පසු වීම් වෙනවා. එක සාමාන්‍ය දෙයක්. ඒ මහතා උතුම් ගුණවත් හොඳ මහත්මයෙක්. ඔය වගේ අත පසු වීමකින් එක ඇසකුත් දකුණු අතේ ඇඟිලි දෙකකුත් අහිමි උන මිනිහෙක් අපේ ගමේ හිටියා. ඒ කාලේ ගඟේ මාළු අල්ලන්න ඩයිනමයිට් දානවලු ඒ මිනිහා. දවසක් ගිනි පෙනේල්ලකුත් අරන් ගිහින් ඩයිනමයිට් එකක් පත්තු කරලා ඩයනමයිට් එක අතේ තියාගෙන ගිනි පෙනෙල්ල ගඟට දාලා පත්තු වෙනකල් ගඟට එබී බලන් හිටියලු, හපොයි ඊට පස්සේ උන දේ. (ර)