මාර්ග නීති කඩකිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් භූමියේ ගාල්කරන ලද ත්‍රිරෝද රථයක තිබූ ඉස්තරම් වර්ගයේ විස්කි බෝතලයක් සොරකම් කළ බව කියන පොලිස් නිලධාරියකු එම සොරකම අතටම අසුවී රුපියල් 2,500ක් අතින් ගෙවා සිය ජාම් බේරාගත් පුවතක් දකුණු පළාතේ වෙරළබඩ තීරයේ පොලිස් ස්ථානයකින් වාර්තා විය.
හේ හොරුන් ඇල්ලීමට නිරන්තරයෙන්ම යන පොලිස් කොස්තාපල්වරයෙකි. මේ කොස්තාපල්වරයා සේවය කරන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මාර්ග නීතිරීති උල්ලංඝනය කළේ යැයි කියමින් අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථයක් පොලිස් භූමිය වෙතට රැගෙන විත් ගාල් කළේය.
මේ ත්‍රිරෝද රථය දෙස ඇහැගහගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙක් එහි රියැදුරු පොලිස් ස්ථානයේ ඇතුළතට යනතෙක් බලා සිට ත්‍රිරෝද රථයේ පිටුපස තිබු ඉස්තරම් වර්ගයේ විස්කි බෝතලය සොරාගෙන ගියේය. ඒ විතරක්ම නොව ඔහු යහළුවන් කට්ටියක් ද සෙට් කරගෙන හොඳ කැටගැස්මක් ද හදාගෙන මේ විස්කි බෝතලය පානය කළේය.
මාර්ග නීති රීති කඩකිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම ත්‍රිරෝද රථයේ රියැදුරු පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු පොලිස් භූමියේ ගාල්කර තිබූ තමා පැදවූ ත්‍රිරෝද රථය වෙතට පැමිණියේය. ත්‍රිරෝද රථයේ පිටුපස තිබූ පිටරටකට ගොස් පැමිණි යහළුවකු දුන් ඉස්තරම්ම වර්ගයේ විස්කි බෝතලය එහි තිබේදැයි සොයා බැලූ ඔහුට එය නොමැති බව දැකීමෙන් තරු විසිවී ගියේය. එමෙන්ම පොලිස් ස්ථාන භූමියකදී කිසිසේත්ම සොරකමක් වනු ඇතැයි සිහිනෙකුදු අපේක්‍ෂා නොකළ ඔහු මේ ගැන සොයාබැලුවේය. එහිදී එම ත්‍රිරෝද රථයේ රියැදුරුට දැනගන්නට ලැබී ඇත්තේ තමාගේ ත්‍රිරෝද රථයේ තිබූ විස්කි බෝතලය අසවල් පොලිස් කොස්තාපල්වරයා සොරකම් කොට ඇති බවය.
ත්‍රිරෝද රථයේ රියැදුරු මේ පිළිබඳව අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට ද පැමිණිලි කළේය. මේ සොරකමට සම්බන්ධ යැයි සැකකෙරෙන පොලිස් කොස්තාපල්වරයා ගෙන්වූ ස්ථානාධිපතිවරයා මේ ගැන ඔහුගෙන් විමසීමේදී හෙළිවී ඇත්තේ ඔහු එම විස්කි බෝතලය සොරකම් කොට ඇති බවය. ඒ අනුව මේ ප්‍රශ්නය දුරදිග නොගොස් ගොඩින් බේරා ගැනීමට නම් විස්කි බෝතලයේ වටිනාකම ත්‍රිරෝද රථයේ රියැදුරුට ගෙවීමට තීන්දුවිය.
එයට එකඟවූ මේ පොලිස් කොස්තාපල්වරයා සිය මුදල් පසුම්බිය ගෙන ත්‍රිරෝද රථයේ රියැදුරුට දාහේ නෝට්ටු දෙකක් සහ පන්සීයේ නෝට්ටුවක් දී පොලිස් භූමියේදී හොරුන් අල්ලන පොලිස් නිලධාරියෙකු සිදුකළ හොරා පොලිස් හොරකම යටපත් කිරීමට සමත්වූවත් ඔහුගේ මේ විස්කි බෝතල් සොරකම ගැන ඒවනවිටත් කිහිප දෙනෙකුම දැන සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පොලිසියත් කොලොන්නාව කුණු ගොඩ වගේ වෙලා (ම)
පොලිසියේ වැඩිහරියක් ඉන්නේ හොරු තමයි.(හේ)
මොකක්ද අප්පා රුපියල් දෙදාස් පන්සීයට ගන්න පුළුවන් ""ඉස්තරම්ම "" විස්කි ජාතිය ? (ර)
ඇඹිලිපිටියේ පොලිසියට නියම කොස්තාපල් වරයෙක්. (අ)
රාළහාමිට 2500/= ට ඉස්තරම් විස්කි බෝතල් කඩෙන් හම්බ වෙන්නේ නැහැනේ. එතනත් ගාන අඩුවෙන් දීලනේ. මේවගේ රාළහාමිලා නීතිය රකින්න ගියාම වෙනදේ අපිට හිතාගන්න පුළුවන්. (අ)
හොඳ වෙලාවට මත්පැන් ප්‍රවාහනය කළා කියල ඇතුලට දැම්මේ නැත්තේ...(බ)
පොලිසියට අපල කාලයක්. මේ අයගේ ක්‍රියා කලාපය නිසා කවදාහරි පොලිසිය හා මහජනතාව අතර ලොකු ගැටුමක් ඇතිවීම වළක්වන්න බැරිවේවි (නි)
රුපියල් දෙදහස් පන්සීයට තියෙන විදේශ විස්කි බෝතලය කුමක්ද? හේතුව මෙම ගානට මටත් එකක් ගන්නටය (බ)
පොලිසියේ බොහොමයකගේ කල්කිරියාව ඔහොම තමයි ! (අ)
අපේ රටේ මිනිස්සුන්ට බීම ගැන තියෙන්නෙ පුදුම කෑදර කමක් තමයි. බීම දැක්කම උන් හිටි තැන්, තරාතිරම, රාජකාරිය, නිල ඇඳුම ඔක්කොම අමතක වෙනව. පොලිස් කියල වෙනසක් නැහැ. උපන්ගෙයි ගතිය වෙනස් කරන්න අමාරුයි. (කෞ)
පොලිසිය තියෙන්නේ නීතිය රකින්නයි . (ම)
පොලිස් හොරා බෝතලයෙන් දැනේ! (නි)