හෝමාගම  ප්‍රියන්ත  ජයලත්  



නැගෙනහිර පළාතේ අවමංගල්‍ය උත්සවයකට සහාභාගී වීම සඳහා  සූර්වෙමින් ගිය නුගේගොඩ ප්‍රදේශයේ ආයතනයක සේවකයන් පිරිසක් අතරමගදී ත්‍රිකුණාමලය බස් එකයැයි සිතා කොළඹ බස් රථයක නැග  කිලෝමීටර් පහක පමණ දුරක් ආපස්සට ඒමේ සිද්ධියක්  කොළොම්පුරෙන් වාර්තා වේ. 
සිද්ධිය මෙසේය. 
නුගේගොඩ ප්‍රදේශයේ එක්තරා ආයතනයක සේවකයකුගේ  ඥාතියකුගේ අවමංගල්‍ය උත්සවය නැගෙනහිර පළාතේ පැවැත්වීමට එම   පවුලේ ඥාතීන් කටයුතු සුදානම් කර තිබිණ.
 ඒ අනුව එම අවමංගල්‍ය උත්සවයට සහාභාගී වීම සඳහා එම  ආයතනයේ සේවකයන් පිරිසක් වෑන් රථයක් සූදානම් කරගෙන එදිනම   රාත්‍රී නැගෙනහිර පළාත බලා පිටත්ව ගොස් තිබේ. එසේ යන අතරතුර  එම පිරිස වෑන් රථයේ සිට මදුවිත තොලගාමින් ගමන්කර ඇත. 
ටික ටික සූර් වෙමින් සිටි එම පිරිස එසේ ගමන්කරමින් සිටියදී  අතරමගදී වෑන් රථයේ එක් රෝදයක හුළං බැස තිබේ . 


එහිදී පිරිස වෑන් රථයෙන් බැස වෑන් රථයේ  තිබූ අමතර රෝදය  සවිකරගෙන නැවත ගමන් කිරීමට සුදානම් වී ඇති අතර  එහිදී  එම  අමතර රෝදයේ  හුළං මදි බවක් දැනිණි . එම හේතුව නිසා වෑන්  රථයේ  සිටි පිරිසෙන් කොටසක් බස් රථයෙන් එම ස්ථානයේ  සිට යාමට  තීරණය කර ඇත. ඒ අනුව එම පිරිස එම ස්ථානයේ  සිට ලොරි රථයක  නැග ආසන්නව තිබූ ප්‍රධාන නගරයකට පැමිණ තිබේ .
එහි සුළු වෙලාවක් සිටියදී එම ස්ථානයට බස් රථයක් පැමිණ ඇති  අතර එම පිරිස අවමඟු‍ල පැවැති නිවසට යාම සඳහා එම බස් රථයට  ගොඩවී ඇත. බස් රථයේ ටික දුරක් ගමන් කරමින් සිටියදී එම පිරිසෙන්  එක් පුද්ගලයකුට බස් රථය ගමන් කරන දිශාව පිළිබඳව සැක සිතී තිබේ. එම නිසා ඔහු එම බසයේ කොන්දොස්තර මහතාගෙන් බස් රථය  යන්නෙ  කොහෙටදැයි විමසා ඇත. මෙම බස් රථය කොළඹ බලා  ගමන් කරන බවට කොන්දොස්තර මහතා පවසා තිබේ . 
එම අවස්ථාවේ එම පිරිසට දෙයියෝ සිහි විය. ඒ වනවිට ඔවුන්  කිලෝමීටර් පහක් පමණ ගමන්කර ඇති අතර එම බසය පිටු පසින් වෑන්  රථයද පැමිණ ඇත. එම පිරිස කලබල වී බස් රථය  නවතා එම  ස්ථානයෙන් බැස ආපස්සට පයින්ම ගොස් ඔවුන් සිටි ස්ථානයට පැමිණ  අවමඟු‍ල පැවැති ප්‍රදේශයට ගමන්කරන බස් රථයකින් ගොස් අවමඟු‍ල්  උත්සවයට සහභාගී වී ඇත.