හෙතෙම කුලී වැඩ කරමින් ජීවත් වන්නෙකි. එදා වේල සරිකර ගැනීමට විවිධ කාර්යයන්හි නියුතු වූ ඔහු කුරුඳු තැලීමට ද හපනෙකි.
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුගේ කුරුඳු ඉඩමේ කුරුඳු තැලීම හැමදාම කළේ මොහු විසිනි. මන්ත්‍රීවරයාගේ නිවසේ එක් පසෙක මඩුවේ කුරුඳු තැලීම සිදුකළ ඔහු ඒවා හන්දි කිරීම කාර්යය හා මිටි බැඳීම සිදුකළේ දින ගණනාවක් කුරුඳු තලා අවසන් වූ දිනයේය. වේළෙන්නට තබා තිබූ සකස් කළ කුරුඳු එකින් එක ගෙන මිටි බැඳ අවසන් වනවිට ඇඳිරි වැටී තිබිණි. කෙසේ හෝ එය නිමා කිරීමේ අදහසින් කළුවර නොතකා එම කාර්යයේ යෙදුණි.
හොඳටම ඇඳිරි වැටී තිබුණු බැවින් ඔහුට නිවසට යාම සඳහා එම නිවසින් විදුලි පන්දමක් ලැබිණි. එය අතට ගෙන දල්වා ලහි ලහියේ නිවස බලා ගමන් කරමින් සිටියදී මහන්සිය හා තෙහෙට්ටුව නිසා ඔහු අතරමගදී ගලක පය පැටලී ඇද වැටුණි. දනි පනි ගා නැගිට යන්නට තැත් දරද්දී ඔහුට ගීතයක් ඇසෙන්නට විය. ඔහු වටපිට බැලුවේය. උඩ බිම බැලුවේය. “මේ මහ රාත්‍රී මොන සංගීතයක් ද? මේක නම් හොල්මනක් තමයි.” ඔහුගේ සිත කීවේය. හොල්මන් ගැන අසා තිබුණ ඔහු හොල්මන් විවිධ ආකාරයෙන් පැමිණෙන බව අසා තිබුණි. සිතට නැගුණු භීතිය නිසා ඔහුට ඉබේටම කෑ ගැසුණේය.
ඒත් මේ හොල්මන් සංගීතය එන්න එන්නම තීව්‍ර වේ. ඔහු දිව්වේය. කෑ ගසාගෙන දිව්වේය. මේ කෑ ගැසීමට නුදුරින් පිහිටි කුඩා ගෙයක දොරක් ඇරිණි. එහි ගෙහිමියා එළියට බැස මේ දුවන පුද්ගලයා ගැන විමසිලිමත්විය. නිවසේ දොරක් හැරීම යම් සහනයක් වුවද තවමත් හොල්මන හොල්මන් කරයි. “ඇයි මේ බයවෙලා?” ගෙහිමියා ඇසීය. “හොල්මනක්! හොල්මනක්!” ඔහු බයෙන් බිරාන්තවී සිටිනු පෙනුණි. “කෝ.... මොකක්ද හොල්මන?” “මේ හොල්මන මගේ පස්සෙන් පන්නනවා.” “කෝ අපිට පේන්න නෑනෙ.” “මේ සිංදු කියන හොල්මන. බුදු අම්මෝ.. ” ගෙහිමියාට කාරණය වැටහිණ. ඔහු අත තිබූ විදුලි පන්දම ගෙන එහි සවිකර තිබූ රේඩියෝවේ ස්විචය වසා දැම්මේය. පය පැටලී වැටුණ මොහොතේ විදුලි පන්දමේ වූ රේඩියෝවේ ස්විචය ක්‍රියාත්මක වී ඉන් නැගුණු ශබ්දයෙන් මොහු බියට පත්ව උන් බව පහදා දුන්නේය. (පස්ගොඩ තිලක් එච්. ගමගේ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd