IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෙට් වෙන්න ගිහින් තුට්ටු දෙකටත් තට්ටු කරගෙන

පෝද්දල - සරත් ආනන්ද ගමගේ 
අනුන්ගෙන් ලැබෙනවා නම් යහමින් සප්පායම් වීමේ පුරුද්දක් ඇති වැදගත් මහත්මයකු මිතුරන්ගේ ලණුවක් කා, අතේ තිබුණු තුට්ටු දෙකටත් තට්ටු කරගෙන, රැකියාවටත් යාමට නොහැකි වී හිස් අතින්ම ගෙදර යාමට සිදු වූ පුවතක් ගැන ගාල්ල පුරවරයෙන් අසන්නට ලැබුණි.
හේ රාත්‍රී කාලයේ ද අතිකාල සේවයේ යෙදෙමින් මහජන සේවා සපයන රාජ්‍ය ආයතනයක නිලධාරියකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි. මෙම තැනැත්තා මිතුරන් අතර ප්‍රසිද්ධව සිටියේ, ලාබෙට ලැබෙනවා නම් කන පැලෙන්න සප්පායම් වන පොරක් ලෙසිනි.
පසුගිය දිනක ඔහු අතිකාල සේවයට වාර්තා කිරීමට යන බව දැනගත් මිතුරන් තිදෙනෙක් “අද ඕකට හොඳ ලණුවක් දෙමු”‍ යැයි කියා කතිකා කරගෙන ඒ සඳහා උපක්‍රමයක් යෙදූහ.
යහළුවා රැකියාවට යන මාර්ගයේ මිතුරකුගේ නිවෙසට රැස්වූ මිතුරන් තිදෙනාගෙන් දෙදෙනෙක් නිවෙසේ තාප්පය මත වාඩි වී සිටියහ. මේ යහළුවා ද එම ස්ථානය පසු කරන විට තාප්පය මත සිටින මිතුරන් දෙදෙනා දැක යතුරුපැදිය නතර කරන්නේය. එවිටම තාප්පයෙන් පිට නිවෙස පැත්තේ සිටි අනෙක් යහළුවා හිස් බෝතල් සහිත බෑගයක් සෙලෙව්වේය. 


එවිටම යතුරුපැදියේ පැමිණි මිතුරා, “මොකද අද උඹලා සෙට් වෙන්න ද හදන්නේ”‍ යැයි විමසමින්, යතුරුපැදියෙන් බැස ඔවුන් වෙත පැමිණියේය. “උඹලා සෙට් වෙනවා නම් මාත් සම්මාදම් වෙන්නම්. ඒත් ලොකු මුදලක් නම් මං ළඟ නැහැ”‍ යි කියමින් පසුම්බියේ තිබුණු සියලු‍ මුදල් මිතුරන්ට ලබා දුන්නේය. “අපිත් එක්ක සෙට් වුණොත් අද උඹට ඕටී කරන්න වෙන්නෙ නැහැ” යි මිතුරන් කියද්දී, “උඹලා එක්ක සෙට් වෙන්න තියෙනවා නම් මොන ඕටී ද? වෙනදා ගෙදර යන වෙලාවට ගෙදර ගියාම ඇති”‍ යැයි සැහැල්ලු‍වෙන් පැවැසීය.
මිතුරන් දෙදෙනකු හිස් බෝතල් සහිත බෑගයත් රැගෙන යතුරුපැදියකින් පිට වී ගිය අතර, නිවෙස හිමි මිතුරාත් සමග ඔහු නතර විය. ආයතනයට ද ඇමතුමක් ලබා දෙමින් හදිසි කරදරයක් නිසා අද දින පැමිණීමට නොහැකි බව ද දැනුම් දුන්නේය.
බොහෝ වේලාවක් ඉක්ම ගිය ද මිතුරන් දෙදෙනා නොපැමිණි හෙයින්, ඔහු මහත් නොසන්සුන්තාවට පත්වී මිතුරන්ට කතා කළ ද, එයට ද ප්‍රතිචාර නොවීය. නිවෙස හිමි මිතුරා ද ප්‍රමාදය පිළිබඳව කනස්සල්ලෙන් සිටින බව පෙන්නුම් කළේය. කාලය ඉක්ම යමින් තිබියදී නිවෙසේ මිතුරාට ඇමතුමක් දෙමින් මිතුරන් දෙදෙනා කියා සිටියේ, තමන්ගේ බ්‍රෑන්ඩ් එක එම ස්ථානයේ නොමැති නිසා ප්‍රධාන නගරයට යමින් සිටින බවයි.
ප්‍රධාන නගරයේ සිට පැමිණිය හැකි වේලාව ද ඉක්ම ගිය පසු, නැවත ඇමතුමක් ගෙන විමසීමේදී ඔවුන් පැවැසුවේ, බයිට් එකක් ගැනීමට අහවල් ස්ථානයට ගිය බවත්, එයත් රැගෙන කඩිනමින් පැමිණෙන බවත්ය.
දැන් වේලාව රාත්‍රී නවයත් පසු වී ඇත. මිතුරන් දෙදෙනා තවමත් නැත. දැන් ඔහුගේ ඉවසීමේ සීමාව ද ඉක්ම වීමට ආසන්නය. ඒ අවස්ථාවේ නැවතත් මිතුරන්ගෙන් ඇමතුමක් ලැබුණි. එයින් කියැවුණේ තෙල් නැතුව යතුරුපැදිය මග නතර වූ බැවින්, තෙල් පිරවුම්හලක් සොයා යතුරුපැදිය තල්ලු‍ කරගෙන එමින් සිටින බවත්, තෙල් පුරවාගෙන කඩිනමින් පැමිණෙන බවත්ය. 
තවත් බොහෝ වේලාවක් ගිය ද ඔවුන් නොපැමිණි නිසා, සාදය පැත්තකට දමා ගෙදර යන්න ඕනෑයි සිතමින්, ඔහු මිතුරකුට ඇමතුවේය. ඉන් කියැවුණේ දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බවයි. ඉන් පසු අනෙක් මිතුරා ඇමතූ අතර, එය ද බොහෝ වේලා නාද වීමෙන් පසු ප්‍රතිචාර ලැබුණු අතර, පිළිතුරු ලැබුණේ ගැහැනු කටහඬකිනි. ඉන් කියැවුණේ “මහත්තයා බාත්රූම් එකේ”‍ කියාය. තමා මිතුරන්ගේ උගුලකට හසු වී ඇති බව දැනගත් ඔහු තිදෙනාටම දෙස් දෙවොල් තබමින් මිතුරාගේ නිවෙසින් නික්ම නිවෙස බලා පිටත් විය.
සිද්ධිය එතැනින් අවසන් වුවත්, මගතොටේදී හමුවන මිතුරන් ද “මචං සෙට් වෙමුද”‍ යි අසන නිසා රැකියාවට යනවා විනා ඔහු දැන් මළගෙදරකටවත් නොයන බව ද ආරංචියි.



අදහස් (1)

සෙට් වෙන්න ගිහින් තුට්ටු දෙකටත් තට්ටු කරගෙන

Sarath kumara pitigala Tuesday, 05 March 2024 10:09 PM

මේ වගේ මිනිස්සු හැම ගමකම, ඔෆිස් එකකම ඉන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site