කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



ස්ථාන මාරුවීම් ලබා ආ අලු‍ත් ලොක්කා හමුවීමට පැමිණි සොක්කකු නිසා අලි අමාරුවක වැටුණු කාර්යාල කාර්ය සහායක (පියුන්) කෙනකු පිළිබඳව අපූරු පුවතක් දකුණුලකේ කාර්යාලයකින් අසන්නට ලැබේ.
මේ පියුන් පරණ ලොක්කාගේ සමීපතමයෙකි. පරණ ලොක්කා අමතර හැමදෙයක්ම පාහේ කර ගත්තේ මේ පියුන්ගේ උදව්වෙනි. එනිසාම දෙන්නා අතර තිබුණේ රාජකාරී බැඳීමට වඩා එහා ගිය එකකි. පරණ ලොක්කාට වෙනත් කාර්යාලයකට ස්ථාන මාරුවීමක් ලැබෙන්නේ මේ අතරය. ඒ එහි සේවය කළ හැකි නියමිත නිල කාලය අවසන් වූ බැවිනි. ලොක්කාගේ මාරුවීම අනෙක් සේවකයන්ට කෙසේ වෙතත් මේ පියුන් මහතාට ගෙන දුන්නේ ලොකු දුකකි. ඔහු මාරුවී ගිය දවසේ ඔහුගේ දෙනෙතින් කඳුළැලි කඩා වැටුණේ ද ඒ නිසාම ය.


ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් මෙන්ම අප්‍රියයන් හා එක්වීම ද දුකක් කියන ධර්මපදය සනාථ කිරීමට මෙන් පරණ ලොක්කා වෙනුවට අලු‍තින් ආ ලොක්කාට ඔහු ප්‍රිය නොකළේය.
 ඒ ඔහු අලු‍ත් ලොක්කා සමග කුළුපගවීමට ගත් උත්සාහයන් ගඟට කැපූ ඉනිමෙන් නිෂ්ඵලවීමත් සමගමය. ඒ නිසා ඔහු සිටියේ අලු‍ත් ලොක්කා සමග කේන්තියෙනි. අලු‍ත් ලොක්කා ඔහුගේ වැඩ පිළිබඳව දින කිහිපයක්ම දොස් කීමත් මෙයට හේතුවක් නොවුණාම නොවේ.
කරුණු කාරණා මෙසේ සිදු වෙද්දී අලු‍ත් ලොක්කා මුණ ගැසීමට බුලත් කෑ වයෝවෘද්ධ සොක්කකු එන්නේය. මහත්තයෝ කෝ ලොකු මහත්තයා යයි මේ තැනැත්තා මේ පියුන් තැන ගෙන් අසන්නේය. අනේ මගෙන් අහන්න එපා ඒ යකා දුම්වැටියක් බොන්නද කොහේදෝ එළියට ගිහිල්ලා ඔහු කීවේය.
ඒ සමගම තමන් සොක්කකු යයි සිතූ තැනැත්තා මේ මහත්තයෝ මගේ පුතා කවදාවත්ම දුම්පානය කරන්නේ නැහැනේ යයි කීවේය. එය කන වැකෙනවාත් සමගම පියුන් මහතාට උන්හිටි තැන් අමතක විය. අනේ ලොකු සර්ගේ තාත්තේ මේ වගනම් අපේ ලොකු සර්ට කියන්න එපා යයි කියමින් ඔහු ලොකු සර්ගේ තාත්තගේ ඇඟේ එල්ලී දැවටුණේය. මම මේක පුතාට කියන්න යන්නේ නැහැ. මීට වඩා තමන්ගේ ආයතනයේ ප්‍රධානියා ගැන සොයා බලා ගරුසරු ඇතිව කතා කරන්න පුරුදු වෙන්න. නැත්නම් තමුන් ලොකු අමාරුවක වැටෙනවා යයි ලොකු සර්ගේ තාත්තා කීවිට අනේ ඔව් ලොකු මහත්තයා මම ඒ උපදෙස් ටික පිළිගත්තා. මේකනම් ලොකු සර්ට කියන්න එපා යයි ඔහු වැඳ වැඳ පිං සෙන්ඩුවීය. හරි හරි මම කියන්නේ නැහැ යයි ලොකු සර්ගේ තාත්තා කීවේය.
කවදාවත්ම ලොක්කා හමුවීමට පැමිණෙන අයකුට මේ පියුන් මහතා මෙලෙස වැඳ වැටෙනු නොදුටු නිසා මේ සිදුවීම දුටු කාර්යාලයේ සේවකයින් මේ පිළිබඳව විමසිලිමත්වීමේදී මේ රහස හෙළිවී තිබේ.