පෝද්දල සරත් ආනන්ද ගමගේ 



විදුලි කාර්මිකයකුගේ සහය ලබා නොගෙන අන්තර්ජාලයේ පළවූ වීඩියෝවකට අනුව නිවසේ විදුලි පේනුවක් මාරු කිරීමට ගිය පුද්ගලයකුට සිදුවූ අලකලංචියක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ අග නගරයෙන් පසුගියදා අසන්නට ලැබුණි.
 හෙතෙම පෞද්ගලික ආයතනයක රැකියාවක යෙදී සිටින්නෙකි. අරපිරිමැස්ම ඉහළින්ම අගයන්නෙකි. නිවසේ සියලු‍ නඩත්තු කටයුතු කරන්නේද ඔහු විසින්මය. බිරිඳ නම් ඒකට කියන්නේ ලෝභකම කියාය. හේ සිංහල අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් නිවසේ තීන්තද ආලේප කළේය. ඒ සඳහා කම්කරුවකුගේ සහාය ලබා නොගත් අතර නිවාඩු දිනවල හා රාත්‍රී කාලය යොදා ගනිමින් ඒ කාර්ය කර ගත්තේද ඔහු විසින්මය.
 මෙම නිවසේ මුලු‍තැන් ගෙයි සවිකර තිබෙන විදුලි පේනුවක් අක්‍රීයවී තිබුණේ දැන් ටික දිනකට පෙර සිටය. මෙයින් පීඩාවට පත්වී සිටියේ ඔහුගේ බිරිඳය. ඇය බ්ලෙන්ඩරය පාවිච්චි කළේ මේ විදුලි පේනුව හරහාය. එය අක්‍රීයවීම නිසා ඇයට දැන් බ්ලෙන්ඩරය උස්සාගෙන සාලයට යාමට සිදුවී ඇත. මේ සඳහා දන්නා කෙනකු ගෙන්වාගෙන මේ විදුලි පේනුව වෙනුවට අලු‍ත් එකක් සවිකර දෙන ලෙස ඇය කීප අවස්ථාවකම ඔහුට මතක් කළේය.
මේ වෙනුවෙන් විදුලි කාර්මිකයකු ගෙන්වා ගත්තොත් අවම වශයෙන් රුපියල් දාහක්වත් ඔහුට ගෙවීමට සිදුවේ යැයි ඔහු ගණන් බලා තිබුණි. ඒ නිසා මේ වැඩේ තමාම කරගත යුතු යැයි ඔහු තීරණය කළේය. ඒ සඳහා අන්තර්ජාලයේ විකාශන වූ විදුලි පේනුවක් මාරුකරන දර්ශන පෙළක්ද ඔහු තම ජංගම දුරකතනයේ බාගත කරගෙන තිබුණු අතර එය බලාගෙන මේ කාරිය කරගැනීම ඔහුගේ අපේක්ෂාව විය.
අන්තර්ජාල හඬ පටයේ කියවෙන පරිදි මුලින්ම ප්‍රධාන විදුලි සම්බන්ධතාව විසන්ධි කර ගත්තේය. ඊළඟට බිත්තියේ තිබුණු පේනුව ගලවා වයර් ටිකද එකිනෙක වෙන් කළේය. එහි වයර් හයක් තිබුණි. යූ ටියුබයේ කියන ආකාරයට අදාළ වයර් ඒ ඒ පින්වලට යොදා ඇණ තද කරගෙන පේනුවද සාර්ථකව බිත්තියට අල්ලා ගත්තේය.


 දැන් හරි. ඔහු සතුටින් ගොස් ප්‍රධාන විදුලි ස්විචය ඔන් කළේය. ඒත් සිදුවූයේ නොසිතූ විපතකි. අලු‍තෙන් සවිකළ විදුලි පේනුව ‘හෝස්’ ගා දැවී ගිනි පිටවී නිවසේ විදුලියද විසන්ධි වී ගියේය.
තීන්ත ගා තිබූ බිත්තිය ද කලු‍වී ගියේය. අසල සිටි බිරිඳගේ මුහුණ ද කලු‍වී ගොස් වහා ඇවිලු‍ණේය. ‘මේ මිනිහගෙ තියෙන ලෝභකමට ගෙටත් ගිනි තිබ්බා’ යැයි කියමින් එම ගින්න බුර බුරා නැගී ගියේය. අසරණවී ගිය ඔහුට පසුව විදුලි කාර්මිකයකුගේ පිහිට පැතීමට සිදුවූ අතර ඔහු පැමිණ පරීක්ෂාකර බලා කීවේ නිවසේ ට්‍රිප් ස්විචයද පිච්චී ඇති බවයි. පසුව අලු‍තෙන් ගෙනෙන ලද ට්‍රිප් ස්විචය හා විදුලි පේනුව විදුලි කාර්මිකයා විසින් සවිකරදී රුපියල් තුන්දාහක කුලීයක්ද ලබාගෙන පිටවී ගොස් තිබුණි.
 රුපියල් දෙදහස් පන්සීයකින් කරගන්නට තිබුණු වැඩේ වකූර් වී තවත් රුපියල් හත්දාහක් වැය වීම ඔහුට දරාගන්නට හැකි වුණත් බිරිඳගේ බර බරේ නම් තවමත් දරාගැනීමට නොහැකිවී ඇතැයි වාර්තා වේ.