(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සිදුවූ පුංචි අත්වැරැද්දක් හා නිවැරදි අන්දමින් හඳුනා ගැනීමට ක්‍රමවේදයක් නොතිබීම නිසා කොළඹ කොටුවේ සිට ගම්පහ බලා යාමට දුම්රිය මගියකුට රුපියල් 3360ක මුදලක් ගෙවා ගමනාන්තයට යෑමට සිදුවූ පුවතක් පසුගියදා ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා විය.
කොළඹ නගරයේ කාර්යාලයක සේවය කරන නිලධාරියෙකි. ගම්පහ සිට ගමන දුම්රියෙනි. ඒ සඳහා මාසික වාර ප්‍රවේශ පත්‍රයක් ද ලබාගෙන ඇත. උදේ කාර්යාලයීය දුම්රියෙන් රැකියාවට එන ඔහු සවස බිම් කරුවල වැටෙන්නට පෙර කොළඹ කොටුවෙන් දුම්රියට නැගීම සිරිතකි.
පසුගිය සතියේ සිකුරාදා හදිසි රාජකාරියක් හේතුවෙන් ඔහුගේ ගමන පැය දෙකක් පමණ ප්‍රමාද විය. කොටුව දුම්රියපොළට එනවිට වේලාව සවස හතට ආසන්නය. මගී මැදිරි ගණනාවකින් යුත් දුම්රියක් ඉදිරියට ඇදීමට සූදානම්ය. ඒ බව දුටු ඔහු ඉක්මනින් නිවසට යන අදහසින් දිවගෙනවිත් ඒ දුම්රියේ එල්ලුනේ කිසි දිනක නොකළ අන්දමිනි.
දුම්රියට ගොඩවූ මේ මගියා ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට භාජනය විය. මේ ඇයි දැයි ඔහුට ප්‍රහේලිකාවක් වූයේය. ‘මේක නගරාන්තර දුම්රියක්. සීසන්වලින් යන්න දෙන්න බැහැ.’ ආරක්ෂක නිලධාරියෙක් ගෙරවීය. ‘මේ වෙලාවට නගරාන්තර දුම්රියක් යන බව මම දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම මේ දුම්රියේ විශේෂ ලකුණක් දැක්කෙත් නැහැ. සාමාන්‍ය දුම්රියක් වගේ නිසයි මම නැග්ගේ. මට වැරදීමක් වුණේ.’ මේ මගියා තමන්ට වූ අත්වැරැද්ද පිළිබඳව ටිකට් පරීක්ෂකවරයාට පැහැදිලි කළේ වෙන කළ හැකි දෙයක් නැති නිසාය.
තවත් ආරක්ෂකයෙක් එම මැදිරියට ආවේ මේ අතරය. ‘මේක අත අරින්න බැහැ. ලියන්න වෙනවා’ ඔහු ද තීරණය කළේ මගියා කී කිසිවකට ඇහුම්කන් නොදෙමිනි. අන්තිමේ දඩ පත්‍රිකාවක් ලියවිනි. රුපියල් 3360ක මුදලක් ගෙවීමට එයින් නියම විය. අතේ මුදල් තිබූ නිසාත් ආත්මගරුත්වය රැක ගැනීම සඳහා එම මුදල ගෙවූ මගියා ගමනාන්තයේදී බැස ගියේ නගරාන්තර දුම්රියක් බවට හඳුනා ගැනීමට නගරාන්තර දුම්රියට ලාංඡනයක් තිබුණා නම් මට මේ වින්නැහිය නොවෙන බව පවසමිනි.
“මට කිසිදා රෑවෙලා කොළඹින් කෝච්චියේ එන්න සිද්ධවෙලා නැහැ. ඒ වෙලාවට නගරාන්තර දුම්රියක් යන බව මම දැනගෙන සිටියෙත් නැහැ. ඒ බව දන්නවා නම් වායුසමනය කළ වාහනයක් කුලියට අරගෙන ගියත් මේ මුදලින් බාගයකින් මට ගෙදරටම යන්න තිබුණා.” තමන්ට සිදුවූ අවනඩුව ගැන මේ නිලධාරියා හිතවතුන්ට කීවේ පසුදිනක උදේ වැඩට එන අතරය. එහිදී තම හිතවතුන් පවසා සිටියේ “කමක් නෑ ප්‍රසන්න අයියේ රුපියල් 3000ක් දීල ගම්පහට කෝච්චියෙන් ගිය එකම මගියා ඔබ” බව පවසමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු දුම්රිය සේවයේම තියන අඩුපාඩුවක් තමා මේක.
ඔය බටයින්ටනම් අනුකම්පාව කියල එකක් නැහැ.
ලංකාවේ තියෙන වැරැද්ද ඔතනින්ම පෙනෙනවා, හීනමානයෙන් පෙළෙන රාජ්‍ය නිලධාරීන් පුංචි අතපසුවීමක් දැක්කම උපරිම බලය යොදවන්න පැකිලෙන්නේ නැහැ, මේ මගියා ටිකට් නැතිව ගිය අයෙක් නොවේ, ලංකාවේ හරි කෝච්චියකට නගින්න නම් දහ පහළොස් සැරයක් වටේ පිටේ මිනිස්සුන්ගෙන් අහලා තහවුරු කරගන්න ඕන, නිවේදන ඇහුනේ නැතොත් මොන විදිහකටවත් මේ අදාළ දුම්රියද කියල හොයාගන්න අමාරුයි, ඔවැනිම අත්දැකීමක් මටත් සිදු වුනා, එදා සිට මම දුම්රියෙන් ගමන් යාම නැවැත්තුවා, ඉතින් සියල්ලටම පළමුව පාරිභෝගිකයා යන්න සේවාවක් සපයන සේවා සපයන ආයතන වල පළමු නියමය විය යුතුයි, එත්, ඊට ප්‍රථම ව එන්නේ නම් එම ආයතන වල වැඩ කරන සේවකයන්ගේ පඩියයි, වර්තමාන වර්ජන රැල්ල දැක්කම ඒ බව හොඳින්ම තහවුරුයි, හොඳම උදාහරණය විශ්වවිද්‍යාල නොනිල අන්දමින් මාසයක් තිස්සෙම වසා තබලා.
මටත් මේදේම වුනා පසුගිය අවුරුද්දේ. ඔය දුම්රියේ තමයි නැග්ගේ ගම්පහට යන්න. මමත් එදා නොහිතපු විදිහට පරක්කු වුනා සහ දැනගෙන හිටියේ නැහැ ඒ වෙලාවට ඉන්ටර්සිටි එකක් යනවා කියලා. දන්නා විදිහට කියලා මම නම් එදා බේරුනා. මේක දුම්රියේ තියෙන ලොකු අඩු පාඩුවක්. ඉස්සරනම් ඉන්ටර්සිටි එක පිටින් බලපුවම අඳුනගන්න පුළුවන්. මේ කෝච්චියේ එහෙම නෑ. සාමාන්‍ය ශිඝ්‍රගාමී දුම්රියක් වගේ.
දුම්රිය සේවාව මහජන මුදලින් නඩත්තු වන, මහජනයාට සේවයක් සලසන ආයතනයක් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහලම සිට පහලම සේවකයාට ඒත්තු ගැන්විය යුතුයි. කොළඹ කොටුව වැනි දුම්රිය රාශියක් පිටත් වෙන දුම්රිය ස්ථානයක, ඉලෙක්ට්‍රොනික පුවරු මගින් වේදිකාවකින් පිටත්වන දුම්රියක ගමනාන්තය පිළිබඳව මගීන්ව දැනුවත් කල හැකියි. මෙවැනි, මගීන්ගේ පහසුව සඳහා කල යුතු දේ පසෙකලා, අද මේවයේ සේවය කරන්නන් බොහෝ වර්ජන කරන්නේ තමන්ගේ බඩ වඩා ගැනීමට පමණයි.
හරිනම් එතුමා ඔය දඩ මුදල ගෙවිය යුතු නැහැ. ප්‍රවේශ පතක් තිබුනානම් අදාල දුම්රිය ස්ථාන අතර අදාල පන්තියේ ගමන් කලහැකිය. දුම්රිය සේවකයිනුත් මේවා දන්නේ නැහැ. ඒ මහතාට දඩ නොගෙවා නඩු දාන්න කියන්න තිබුනා. ඔය වගේ නඩු දිනවන්න ඕනෑතරම් නීතිඥවරු ඉන්නවා !
මේ වගේ හරියට රාජකාරිය කරන එවුන්ගේ බොක්කේ තියෙන්නේ දඩ මස් බව අපි කවුරුත් දන්නවා, විශ්‍රාම ගිය දාට ඕව හිතලම තමයි මැරෙන්නෙත්. දු. සා. මේ ගැන දක්වන අදහස මොකක්ද?
අදින කෝච්චියේ එල්ලුනාට තව දඩයක් ගහන්න ඕනෑ...
මම වැඩකරන්නේ ලංකාවේ තියෙන විදේශීය සමාගමක. අපි රාජකාරි වැඩ වගයකට නගරාන්ත දුම්රියකින් කොළඹ සිට නුවර බලා පිටත් වුනා. කොටුවෙන් ටිකට් ගත්තම ටිකට් එක වෙනුවට දුන්නේ රිසිට් පතක් පමන්නයි. කෝච්චියේදී 4 සැරයක් විතර ඒ රිසිට් පත චෙක් කරා. පස්සේ නුවර දුම්රිය ස්ථානයෙන් එලියට යද්දී ඒ රිසිට් පත පිටවීමේ ගේට්ටුවේ හිටපු චෙකර් විසින් එකතු කරගත්තා. අපි ඔක්කොම 8 දෙනෙක් ගියා දැන් එකෙකුටවත් මේ මුදල කොම්පැනියෙන් ක්ලෙම් කරන්න බැහැ රිසිට් පත නැති නිසා. තව දවසක් මම වාහනේ එලවාගෙන යනකොට රුපියල් 1000ක දඩ කොලයක් ලැබුනා. ඒක තැපැල් කාර්යාලයට ගෙව්වම දුන්න රිසිට් පත පොලිසියෙන් තියාගත්තා. තමුන් යම්කිසි මුදලක් දුන්විට දෙනු ලබන රිසිට් පතේ අයිතිය ඇත්තේ එම මුදල දුන් කෙනා අතෙයි. මම අප්‍රිකාවේ යුරෝපයේ , ඇමෙරිකාවේ සහ ජපානේ ගිහින් තියෙනවා. ඒ රටවල මුදල් ගෙවා ලැබෙන රිසිට් පත තමුන් සතුයි. මම ආයේ ලංකාවට එන්නේ නැහැ මෙහෙ කිසිම නීතියක් නැහැ. ( ලියන්න විදෙශිකයකි සිංහල පරිවර්තනයකි) ඉංග්‍රීසියෙන් මෙය පලකරොත් ඉන්න හිඟන සුද්දෝ ටිකත් රට හැරලා යයි.