සිය බලප‍්‍රදේශයේ අවමංගල කටයුතුවලට වෙනත් මහජන නියෝජිතයින් යෑමට පෙර කලින්ම ගොස් එක දමා ගැනීමට අපූරු උපක‍්‍රමයක් යොදාගත් මහජන නියෝජිතයෙකු පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වේ. හේ දේශපාලනයට ආවේ පුංචිම පුංචි තැනකින්ය. ඒ නිරන්තරයෙන්ම මහජනතාව සමග ගැවසෙමිනි. ඔහු ඒ තත්ත්වයට එන්නට විඳි දුක් අපමණය. අනන්තය.
ගමේ මෙන්ම නගරයේ මගුලට අවමඟුලට පාට පක්‍ෂ නොබලා මුලින්ම ගියේ ඔහුය. කෙටියෙන්ම කියනවානම් මොනම උත්සවයක් ගමේ තිබුණත් කලින්ම එක දා ගන්නේ ඔහුය. ගමේ අවමඟුලක්වූ සැනින් ඔහු එතනය. අනෙක් මහජන නියෝජිතයින් එන්න හිතන්නවත් කලින් ඔහු එම අවමඟුල් ගෙදරය. ඇතැම් අවමඟුල්වලට ඔහු යන්නේ එම අවමඟුලවූ ගෙවල්වල නෑදැයින් දැනගන්නටත් පෙරය.
මේ නිසාම බොහෝ මළගෙවල්වල අය මේ මහජන නියෝජිතයා දුටුගමන්ම පුදුම වෙති. කොහොමද මෙතුමා මෙච්චර ඉක්මනින් මේක දැනගත්තේ යන්න සමහරුන්ට ලොකු ප‍්‍රශ්නයකි. ඇතැම්හු මේ ගැන ඔහුගෙන් කෙළින්ම විමසති. ‘‘අයියෝ මල්ලි ඉතින් මම ඉන්නේ මිනිස්සු එක්කනේ. ඒ අය දුකක් කරදරයක් වුණාම ඉතිං මට නොකියා කාට කියන්නද’’ දැයි ඔහු ඔවුන්ගෙන් අසා සිටියි. හා ඒකත් ඇත්ත නේන්නම් යයි ඔවුන්ම කියා ගනිති. එහෙත් එහි ඇත්ත තත්ත්වය නම් එය නොවේ. මුලින්ම එක දාගන්න මළගෙවල්වලට ඔහු යන්නේ කෙසේ දැයි අනෙක් මහජන නියෝජිතයින්ට ලොකු ප‍්‍රශ්නයක් වී තිබිණ. මේ පිළිබඳව කිට්ටුම හිතවතකු ඔහුගෙන් විමසූ විට ඔහු එම රහස එළිකළේ මෙහෙමය. මල්ලි ගමේ මළගෙයක් වුණාම මුලින්ම දැනගන්නේ කවුද? එක්කෝ මල්ශාලා අයිතිකාරයා. එහෙමත් නැත්නම් එතන දේහය එම්බාම් කරන එක්කෙනා.
එහෙමත් නැත්නම් බෙරගහන අය. බොහෝ අය ඒ මිනිසුන් එක්ක කතා කරන්නෙවත් නැහැනේ. මම නම් දැක්ක තැන ඒ අයත් එක්ක කතා කරනවා. කතා කරලා යාළු කරගෙන මගේ දුරකතන අංකය දෙනවා තමන්ට වැඩක් ආවම මට මිස් කෝල් එකක් ගහන්න කියලා. ඒ අයට ඉතින් අපි වගේ අයට කතා කරන්න ලැබෙන එකක් ලොකු හයියක්නේ. ඉතිං මරණයක් අපු ගමන්ම මට ඒ අයගෙන් මිස් කෝල් එකක් හරි කෝල් එකක් හරි එනවා. මම ඒ ඔස්සේ තොරතුරු හොයාගෙනයි මෙහෙම අනෙක් අයට කලින් මළගෙවල්වලින් එක දාගෙන ලකුණු දාගන්නේ යයි ඔහු කීවේ එක ඇසක් පොඩි කරමින් එය ඇසූ තැතැන්තාටද පොඩි තට්ටුවක් දමමින්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපටිකමත් එක්තරා මෝඩකමක් කියන්නේ මෙන්න මේ නිසයි. දැන් ඉතින් පත්තරෙන්ම ප්‍රචාරය වුණානේ. ඔන්න අනිත් කපටියන්ටත් චාන්ස් එකක්. දැන් කවුරුත් මල්ශාලා වලටයි, එම්බාම් කරන අයටයි හොයාගෙන ගිහින් හරි නොම්මරේ දෙයි. (නි)
මම නම් එ්කේ වරදක් දකින්නේ නැහැ. (නි)
හොඳට මොලේ තියෙන දේශපාලුවෙක් වගෙයි...... (ම)
මම නම් මේකේ කිසිම වරදක් දකින්නේ නැහැ. දේශපාලනය කරනකොට පොඩි පොඩි "සම්‍යක් ප්‍රයෝග" කරන්න වෙනවා. ඒකෙන් කාටවත් හිරිහැරයක් කරදරයක් පාඩුවක් වෙන්නේ නැත්නම් ඒක කොහොමවත්ම නරක දෙයක් නොවෙයි (නි)
අර ඉස්සර දේශපාලන නායනයෙක් හිටියලු මළගෙයක් දැක්කම ආරක්ෂකයින්ටත් නොකියා වාහනෙන් බැහැලා මළගෙදරට ගිහිල්ලා කතාවක් කරන. දවසක් දකුණේ ගමක මළගෙයකට ගිහින් කාගෙන්ද අසා වෙදමහතෙක් බව දැනගෙන එයාගෙන් තමන් බෙහෙත් ගත් හැටි හා හොඳවුණ හැටි කිව්වාලු. බැලුවම වෙදමහත්මයා සතුන්ට වෙදකම් කරන කෙනෙක්ලු (නි)
ඔව් ඉතින් මෙහෙමවත් අහිංසක කපටිකමක් නොකළොත් අපේ රටේ ඡන්ද ගන්නවා බොරු. දැන් ඉතින් එ්කත් හබක්. කට හින්දා මාළුවා නහිනවා වගේ මෙයත් මෙයාගේ විනාශය තමන්ම කර ගත්තා (නි)
අපේ රටේ මහා දේශපාලක උත්තමයෝ කරන කූට ප්‍රයෝග එක්ක මේ තැනැත්තාගේ සම්‍යක් ප්‍රයෝගය හරිම අහිංසකයි. කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ. (බ)
මේක හරිම අහිංසක ප්‍රයෝගයක්. මේවගේ දේවල් නම් කළාට කමක් නැහැ අපරාධ නොකර. (බ)
මගේ මවගේ මළගෙදරට ආ දේශපාලකයින් එය ඔවුන්ගේ තවත් වේදිකාවක් කර ගන්න උත්සහයක් දැරුවා. මා කතා කරන්න අවස්තාව දුන්නේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ට පමණයි. (කෞ)