පෝද්දල සරත් ආනන්ද ගමගේ



ගැහැනුන්ට මායම් හැට හතරක් ඇතැයි කියමනක් තිබුණ ද එවැනි මායම් පෙන්වන ගැහැනු නිතර අපිට මුණ නොගැසුණ ද, ඇත්තටම මායමකින් තම සැමියා රැවැට්ටූ ගැහැනියක පිළිබඳව සිද්ධියක් දකුණු පළාතේ නගරයකින් පසුගිය දා අසන්නට ලැබුණි.
මෙම සැමියා අනුරාධපුරය පැත්තේ උපන්නෙකි. ආරක්ෂක අංශයේ සේවයේ නියුතු විවාහකයෙකි. පඩිය අරගෙන ගෙදර යන්නේ මසකට වරකි. එසේ එක් මාසයක ගෙදර යනවිට බිරිඳ නිවසේ නොසිටියාය. ඒ ගැන සොයා බලනවිට ඇය ඥාති සහෝදරයකු සමග තවත් දීගයක ගොස් ඇති බව දැනගන්නට ලැබී ඇත.
එම දීගයෙන් බැටකා තනිව සිටින සමයේ නැවතත් ඔහුට මල්සර හීය වැදුනි. ඒ දකුණු පළාතෙනි. පළමු විවාහයෙන් සැමියා අහිමි වූ එම තැනැත්තියට ලොකු මහත්වූ දුවක් ද සිටියා ය. එම දුව ඇගේ ආච්චි අම්මාට බාර දී ඇය ඔහු සමග දීග ආවා ය. මේ වනවිට ඔහු රැකියාව කරමින් සිටියේ අග නගරය ආසන්න හමුදා කඳවුරකය. පවුල් කනවා නම් දෙපොළක සිට කෑ නොහැකි බව අත්දැකීමෙන්ම දැන සිටි ඔහු, දෙවැනි බිරිඳ තමා සේවයේ නියුතු ඉසව්වට ගත්තේ ය. ඔහු ඒ සඳහා තම පඩියට සරිලන කුඩා නිවසක් ද කොළඹට ආසන්න නගරයකින් සොයාගෙන තිබුණි. 


මෙසේ දෙපල සතුටින් වෙසෙන අතරතුරදී බිරිඳගේ බාල නැගණියගේ විවාහ මංගල උත්සවයට දෙදෙනාට සහභාගී වන ලෙස ආරාධනාවක් ලැබුණි. ඇගේ ගමේ පැවැත්වෙන මෙම මංගල්‍යයට ඔවුන් සූදානම් වූ අතර, බිරිඳට කර පැලඳීමට රන් මාලයක් නොමැතිවීම ගැටලු‍වක් විය. එයට විසඳුමක් ලෙස ඔහු ගමට ගොස් සිය සොයුරිය හමුවී කතන්දරය පවසා ඇගේ රන්මාලය ඉල්ලාගෙන පැමිණියේ ය.
දෙපල බොහෝ සතුටින් මංගල උත්සවයට සහභාගි වූහ. බිරිඳගේ දියණිය ද එහි පැමිණ සිටි අතර, ඒ හේතුවෙන් බිරිඳගේ සතුට ඉහවහා ගොස් තිබුණි. මේ වගේ අවස්ථාවක නොමිලේ ලැබෙන චාන්ස් එක ප්‍රයෝජනයට ගත් ඔහු, මධුපානයට සෙට් වී සිටියේ ය. බිරිඳ තම ගෙල පැලදි මාලය ගලවා තම දියණියට දුන්නේ මේ අවස්ථාවේ ය. එය දැරිවියගේ අත් බෑගයේ දමා ගන්නා ලෙස අම්මා උපදෙස් දුන්නා ය.
පසුව ඔවුහු එකතුව දිවා ආහාරයද ගත්තෝ ය. අතුරුපසද ගැනීමෙන් අනතුරුව බිරිඳ එකවරම ‘‘මගේ මාලෙ නැහැ”‍ යි කියමින් හඬන්නට පටන් ගත්තාය. මාලය නැති සොවින් කඳුළු වගුරමින් ඈ වැලපුනා ය. එය කොහේ හෝ බිම වැටෙන්නට ඇතැයි විශ්වාසයෙන් මංගල සාදයට එක්ව සිටි ඔවුන්ගේ ඥාතීන් ඒ ගැන සොයා බැලු‍ව ද මාලය හමුවූයේ නැත.
පසුව ඔහු සොයුරියගේ මාලයේ වටිනාකම කොටස් වශයෙන් ගෙවීමට පොරොන්දු වී එම ගැටලු‍ව නිරාකරණය කරගෙන ඇත. සිද්ධිය ඇසූ ඔහුගේ මිතුරන් බොහෝ දෙනකු එය බිරිඳගේ මායමක් බව පැවසුව ද, ඔහු ඒ මතය පිළිගන්නේ නැති බවද වාර්තා වේ. එය ඇත්තටම මායම් හැට හතරෙන් එකක් බව දන්නේ ඔහුගේ බිරිඳ හා ඇගේ දියණිය පමණකැයි සිද්ධිය ඇසූවෝ පවසති.