නිවසේ ඇති භූත දෝෂ ඉවත් කර ගැනීමට ගිය නිවැසියෙකු හට ඔවුන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ ගණනක රන් ආභරණ හා මුදල් අහිමි වීමේ සිදුවීමක් උඩරට වතුකරයේ තලවකැලේ හා ලිඳුල නගරයට මැදිව පිහිටි ප්‍රසිද්ධ තේ නිපදවන වතුයායකින් වාර්තා විය.
උඩරට වතුකරයේ හින්දු වැසියන් ආගමික කටයුතු, පුද පූජා හා විවිධ ඇදහිලි ඉතාමත් භක්තියෙන් හා විශ්වාසයෙන් යුතුව සිදු කරනු ලබන පිරිසකි. මෙම සිදුවීමට හේතු පාදක වූ වතුයායේ නිවසට ඉන්දියාවෙන් පැමිණි යයි කියනු ලබන පූසාරියකු ලෙස ඇඳ පැලැඳ සිටි පුද්ගලයකු සාස්තර කියන මුවාවෙන් පැමිණ තිබේ. පැමිණ නිවැසියාගේ අත බලා සාස්තරයක් පවසමින් කියා ඇත්තේ නිවසේ විශාල ලෙස සිතා ගත නොහැකි අන්දමේ භූත දෝෂ ඇති බවය.
නිවසේ ඇති භූත දෝෂය තවදුරටත් පැවතිය හොත් ගෙදර ගෘහ මූලිකයාට මාරාන්තික අපල ගෙන දෙන බවත්, අවශ්‍ය නම් භූත දෝෂ සම්පූර්ණයෙන්ම නිවස තුළින් ඉවත් කළ හැකි බවත්, එසේ කළහොත් නිවස තුළ සතුට සාමය හා නිරෝගී බව වර්ධනය වී අත මිට සරුව නොබෝ දිනකින් පොහොසත් වන බව එම පූසාරියා පවසා ඇත.
නිවසේ භූත දෝෂ ඇති බව තමාට දැනුණු බවත්, තම නිවසේ ඇති භූත දෝෂ ඉවත් කර දෙන ලෙස එම නිවැසියා ඔහුගෙන් යටහත්ව ඉල්ලා තිබේ. ඒ සඳහා තමා විශාල මුදලක් අය නොකරන බවත්, සිදු කළ යුතුව ඇත්තේ රන් පූජාවක් සිදු කිරීම බව පවසා ඇත. තමාට හෙට දිනයේ ඉන්දියාව බලා යෑමට ඇති බැවින් පූජාව අද සිදු කළ යුතු බව පවසා ඒ සඳහා අවශ්‍ය පූජා භාණ්ඩ රැගෙන එන ලෙස ඒ සඳහා අවශ්‍ය පූජා භාණ්ඩ ලේඛනය පවසා ඇත.
සැණින් ක්‍රියාත්මක වූ නිවැසියා නගරයට ගොස් ඊට අවශ්‍ය තෙල්, මල්, සුවඳ දුම් ඇතුළු අනෙකුත් පූජා භාණ්ඩ ගෙනවිත් දී තිබේ. පසුව ගෙනවිත් තිබූ නැවුම් එළ කිරි ගෙන සෙම්බුවකට පිරී ඉතිරී යන ලෙස දමා නිවසේ තිබෙන හා නිවැසියන් භාවිත කරනු ලබන සියලු රන් ආභරණ ඒ තුළට දමන ලෙස පුසාරියා පවසා තිබේ. ඒ අනුව සියලු රන් භාණ්ඩ සෙම්බුව තුළට දමා ඇති අතර ඉන් අනතුරුව සෙම්බුවේ කට සුදු රෙදි කඩකින් බැඳ විශාල වේලාවක් පුද පූජා කරමින් මතුරා ඇත. ඉන් පසු ආරූඪ වී නිවැසියන්ට මඳක් පූජා පවත්වන ලද කාමරයෙන් ඉවත් වෙන ලෙස පවසා පිටතට නැගෙන සේ උස් හඬින් යළි මතුරා තිබේ.
ඉන් පසු පූසාරියා නිවැසියන්ට පවසා ඇත්තේ රන් භාණ්ඩ සහිත කිරිවලින් පිරුණු සෙම්බුව නිවසේ දේව පිළියම අසල දින තුනක් තබා ඊට එම දිනවල එකම වේලාවක සුවඳ දුම් අල්ලන ලෙසයි.
දින තුන ගෙවුණු පසු සෙම්බුවෙන් රන් භාණ්ඩ ගෙන එහි ඇති ජීවන් කරන ලද කිරි නිවසේ හතර කොන ඉසින ලෙස පවසා තිබේ. ඉන් පසු නිවසේ භූත දෝෂ ඉවත් වී නිවස පිරිසිදු වන බව පූසාරියා පවසා පූජාව සිදු කරන ලද ගාස්තුවත් රැගෙන නගරයට යාමට ත්‍රීරෝද රථයකුත් නිවැසියන්ගේ මුදල්වලින් ගෙන්වා ගෙන පිටව ගොස් ඇත.
පූසාරියා කියු ලෙසින් දින තුනකට පසු සෙම්බුව විවෘත කිරීමට නිවැසියන් කටයුතු කර ඇති අතර, බලන විට එහි ලක්ෂ දහයක පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ නොමැති බව පෙනී ගොස් තිබේ. එළ කිරි නරක් වීමෙන් අමුතු දුර්ගන්දයක් පැතිරී ගොස් තිබේ. පසුව නිවැසියන්ට තමන් සිදු කරන ලද සියලුම මෝඩ ක්‍රියාවන් අවබෝධ වී ඇති අතර අන්තිමට ගොස් තමන්ට පිහිට වන ලෙස පොලිසියේ පැමිණිලි කොට තිබේ.
තලවකැලේ ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd