බ...ල්...ලා... ගෙදර, බ...ල්...ලා... ගෙදර පවසමින් විදුහල්පතිනිය පන්ති පුරා සිනහවෙමින් පවසමින් සිටියදී රුපියල් දහසක් ගෙවා දිනකට පෙර පිටමං කළ බල්ලා නඟුට වනමින් ඇයගේ දෙපා අසලට පැමිණීමේ පුවතක් පානදුර පාසලකින් වාර්තා වේ. සිද්ධිය සැකවින් මෙසේය, වසර ගණනාවක් පුරා කාටත් කරදරයක් හිරිහැරයක් නොකර පාසල් භූමියේ එහෙ මෙහෙ ඇවිදිමින් කාගෙ කාගේත් ආදරය කරුණාව ලබමින් සිටියත් එම බල්ලාව නාවා පිරිසුදු කිරීමට කාට කාටත් අවශ්‍යතාවයක් නොවීය. පසුගිය දිනවල ඇද හැලූණු අධික වර්ෂාවෙන් බල්ලා හොඳටම තෙමී තිබිණි. එයින් බල්ලාගෙන් වහනය වූයේ අධික දුර්ගන්ධයකි. ඌ උණුසුම් තැනක් සොයා පන්ති කාමර පුරා ඒ මේ අත ගියේය. නාස්පුඩු අතින් වසා සිසුවියෝ මෙන්ම ගුරුභවතුන් දැඩි අපහසුතාවයකට පත්වූහ. එයින් එදිනෙදා අධ්‍යාපන කටයුතුවලටද බාධා එල්ල විය. විදුහල්පතිනියට කනින් කොනින් බල්ලා නිසා සිදුවී ඇති අපහසුතාවය දැන ගන්නට ලැබී ඇත. මෙයට ගතයුතු එකම පියවර බල්ලා පාසල් භූමියෙන් පිටකිරීම බව අනෙකුත් ගුරුවරු එක හඬින් විදුහල්පතිනියට පැවසූහ. ඇය එයට එකඟ වී දන්නා හඳුනන අයකු මාර්ගයෙන් පුද්ගලයකු ගෙන්වා කළ යුතු දෙය දන්වා රුපියල් දහසක්ද අත මිට මෙලවීය. ගතවූයේ සුළු මොහොතකි. බල්ලාගේ කරට ලණුවක් දමා පාසලෙන් පිටතට ගෙන යාමට පැමිණි පුද්ගලයා ක‍්‍රියා කළේය. පසුදින සිරිත් පරිදි විදුහල්පතිනිය පන්ති කාමරවල නිරීක්‍ෂණ චාරිකාවක නිතරවෙමින් දැන් බලූ කරදරෙත් ඉවරයි. බල්ලා... ගෙදර... බල්ලා ගෙදර යනුවෙන්  පවසමින් සිටියදීම පිටමං කළ බල්ලා නැවත පැමිණීමෙන් විදුහල්පතිනිය ගුරුවරු හා සිසුහු මුහුණට මුුහුණ බලා ගත්හ.