රක්වාන - ඩබ්ලිව්.ඒ.සිරිසේන
පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් අසල තිබූ ගසකට නැග එළි වනතුරු ගස මුදුනේ රැඳී සිට පසුදින උදේ පොලිසියට ගොස් ඉදිරිපත් වූ පුද්ගලයකු සම්බන්ධ සිද්ධියක් ඊයේ (26) ගොඩකවෙල පොලිසියෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය. රජයේ කාර්යාලයක මිතුරන් කිහිප දෙනෙක් තම හිතවතකුගේ මළගෙදරකට පසුගිය දා රාත්රියක සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියහ. සියලු දෙනා වරින් වර නිවෙස් බලා යද්දි එක් අයකු පමණක් අතුරු පාරක සිය යතුරු පැදියේ තනිව ගමන් කරද්දී හදිසියේම ප්රධාන මාර්ගයේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු දැක ඇත.
තමන් හීන් අඩියක්ද ගසා සිටි බැවින් ඔවුන් මගහැර යාමට සිතා ප්රධාන මාර්ගයට යා වෙන වෙනත් අතුරු පාරකින් ඔහු සිය යතුරුපැදිය ධාවනය කළේය. මොහුගේ හැසිරීම ඈත සිටම නිරීක්ෂණය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ප්රදේශය ගැන හොඳ අවබෝධයක් ඇති නිලධාරීන් දෙදෙනෙකි.
ඔවුහු වහාම යතුරුපැදිකරු ප්රධාන මාර්ගයට පිවිසීමට තිබෙන හන්දියට ගොස් රැක සිටියහ. අතුරු මාර්ගයෙන් පැමිණෙමින් සිටි යතුරුපැදිකරු මහා මාර්ගයට ඇතුළු වෙද්දීම ඔහු නවතා යතුරුපැදියෙන් බස්සවා ඔහුගේ ජංගම දුරකථනය සහ යතුරු පැදියේ යතුර ඔවුහු භාරයට ගෙන සැකකරුවද ඒ අසල නවතා ගත්හ.
අනතුරුව ඔවුහු රාත්රියේ මාර්ගයේ ගමන් ගන්නා සෙසු වාහනවල රාජකාරි කටයුතුවල යෙදී සිටියහ. මේ අතර සැකකරු ඔවුන්ගෙන් මිදී දිවගොස් අසල තිබූ ලදු කැලෑවකට රිංගා ගත්තේය. අනතුරුව එහි තිබූ විශාල ගසකට නැග මුදුනටම ගොඩවිය.
මෙම අල්ලපනල්ලේ සිදුකරගෙන යමින් සිටි වාහන රාජකාරියද නවතා දැමූ පොලිස් නිලධාරීහු ඔහු සොයා මුළු රාත්රියේම ඒ අවට ප්රදේශයම ඒ මේ අත යමින් සොයා බැලූහ. සැක සහිත ස්ථානද පරීක්ෂා කළහ. කෙතරම් මහන්සි වුණත් සැකකරුව සොයා ගැනීමට නොහැකි වූ නිසා එම කටයුත්ත නතර කර දමා මෙතෙක් තම භාරයේ තිබූ සැකකරුගේ යතුරුපැදියත් රැගෙන ඔවුහු ආපසු පොලිස් ස්ථානයට ගියහ.
තමන් සොයා පොලිස් නිලධාරීන් වෙහෙසන අයුරු සියල්ල ගසකට නැග බලා සිටි සැකකරු පසුදින පහන් වන තුරුම ගසේ රැඳී සිටියේය. හිමිදිරියේ ගසෙන් බැස අසල තිබූ නිවසකට ගොස් තමන් පත්වූ අකරතැබ්බ ගැන පවසා ඔවුන්ගේ හිතවතුන් කිහිපදෙනකු සමඟ උදේ පොලිසියට ගියේ සිදුවීමට යන සිද්ධියට මුහුණ දීම සඳහාය.
පොලිසිය සිදු කළ මූලික විමර්ශනයෙන් පසු පැය ගණනාවක් කල්ගත වී ඇති නිසා බීමත් රිය පැදවීමේ චෝදනාව යටතේ සැකකරුට විරුද්ධව නඩුවක් පැවරීමට පොලිසියට ද සාක්ෂි නොමැති නිසා අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම යටතේ සැකකරුට විරුද්ධව නඩුවක් ගොනු කළ පොලිසිය සැකකරු මුදාහැරීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd