(රත්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලධාරිනියකට නිවස හා කාර්යාලය මාරු වීම නිසා සිදුවූ අපූරු සිද්ධියක් දකුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

මෙම නිලධාරිනිය දුර බැහැර පදිංචිව සිට මෑණියන් තම නිවසට ගෙන්වා ගත්තේ ඇය වයස්ගතව දැඩි සේ අසනීපයෙන් සිටි බැවිනි. තම මෑණියන්ට සාත්තු සප්පායම් කිරීමට තරම් විවේකයක් හෝ හැකියාවක් නොතිබුණ ද මෑණියන්ගේ කටයුතු තමාගේ අතින් ඉටු විය යුතු බවට මෙම නිලධාරිනිය තරයේ විශ්වාස කළාය.
තම දරුවන් අධ්‍යාපන කටයුතු වල නිරත වුවද ඔවුහු නිතරම තම ආච්චි අම්මා ළඟ රැඳීසිටිමින් සාත්තු සප්පායම් කළහ.
කෙසේ වුවද නිවසේ කිසිවකු නොමැති අවස්ථා වල තම ස්වාමි පුරුෂයා නිවසේ රැඳෙව්වේය. ඔහු අවශ්‍ය දේ සිදු කළ ද කාර්යබහුල පුද්ගලයකු වූ නිසා ඇතැම් අවස්ථා වල මෑණියන්ගේ දුබල කටහඬ නොඇසෙන බැවින් කතා කළ සැණින් ඇය අසලට යාම සිදු නොවීය. මේ බව ඇය තම දියණියට පැමිණිලි කළාය. ඒ ගැන ස්වාමි පුරුෂයා පැවසුවේ වැඩ අධික වේලාවට අම්මාගේ හඬ නොඇසෙන බවයි.
මෙයට අපූරු උපායක් කල්පනා කළ මෙම නිලධාරිනිය මවගේ ඇඳ මත බෙල් එකක් සවි කර අවශ්‍ය වූ විට එයට ඇඟිල්ල තබන ලෙස උපදෙස් දුන්නාය. ඒ නිසා මෑණියන්ට අවශ්‍ය සෑම විටම බෙල් එක ටි්‍රං හඬින් නාද කළ අතර කවුරුන් හෝ ක්ෂණිකව ඇය අසලට ගොස් අවශ්‍යතාව ඉටු කළේය.
මෙම සාර්ථක උපක්‍රමයක් නිසා කරදරයක් නොමැතිව මෑණියන්ගේ අවශ්‍යතා ඉටුවූ අතර රාත්‍රියේ වුවද මෑණියන්ගේ කටයුතු වලට එය පහසුවක් විය.
ඉන් පසු බෙල් හඬට කවුරුන් හෝ ඇය අසලට දිව යාම සිදු විය. ඒ ගැන ඇය සතුටු වූවාය. කෙසේ වුවද ඇතැම් දින වල රාත්‍රී කාලයේ නිදි වරා මෑණියන්ගේ කටයුතු කර සේවයට යන්නේ වෙන කළ හැකි දෙයක් නොමැති බැවිනි. නිලධාරිනියගේ සිත තිබුණේ නිවසේය.
දිනක් ප්‍රාදේශීය ලේකම්වරිය කාර්යාල කාර්ය සහයක කැඳවමින් බෙල් එක නාද කළේය. හදිසි වැඩක නිරතව සිටි මෙම නිලධාරිනිය ශබ්ද නඟා එනවා අම්මේ යි කියමින් නැගිට ප්‍රාදේශීය ලේකම් කාමරය වෙත දිව ගියාය. කාර්යාලයේ සහෝදර නිලධාරීන් සිනා වෙමින් පුදුමයෙන් ඇය දෙස බලන විටත් ඇය ප්‍රාදේශීය ලේකම්වරියගේ කාමරය ආසන්නයටම ගොස් තිබුණි.
කෙසේ වුවද සිද්ධිය අවබෝධ වී ලජ්ජාවෙන් වට පිටා බලා නැවත ආපසු පැමිණ රාජකාරි කටයුතු ඉටු කළේ මෙහෙමත් වැරදීමක් යයි සිතමිනි. ඉන් පසුව එම අංශයේ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්වරිය බෙල් එක නාද කරන සෑම විටකදීම සියල්ලෝම සිනා සී හොරැහින් ඇය දෙස බලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිනාවෙන්න නොවෙයි තිබුනේ ඇය මව ගැන කොතරම් අවධානයෙන් ඉන්නවද කියල අගය කරන්න හැමෝටම වැරදි වෙනවා ඔය හිනා උන අයට ගොඩක් වැරදි වෙනවා ඇති
එයා හොඳ කෙනෙක් අම්මට සලකන. හිනා වෙන්න දෙයක් නැහැ.
තමන්ගේ අම්මට සලකන්න ලැබීමත් භාග්‍යක්.
අපේ අය දන්නේ කෙනෙක් වැටෙන්න ගියත් හිනාවෙන්න. මේ මිස් කොච්චර උසස් ගතිගුණ තියන කෙනෙක්ද... කොච්චර කාර්ය බහුල උනත් හැම මොහොතකම හිටියේ අම්ම ගැන සිතමින්...
සිනාසෙන්න නෙවෙයි, සහෝදර නිලධාරීන්ට කරන්න තිබුණේ... මේ නිලධාරිනිය එ් වෙලේ පත්වූ අපහසුතාවයෙන් මිදීමට එම සිද්ධිය නොදැක්කා සේ සිටීමයි. එක අතකට මේ අබුද්ධස්ස කාලේ තමන්ගේ මෑණියන්ට සැලකීමත් විහිලුවට ලක්වෙන යුගයක් තමයි.
අම්මා වයස්ගතව දැඩිසේ අසනීපව ඉන්න නිසා වෙන්න ඇති නිතරම අම්මා ගැන සෙවිල්ලෙන් ඉන්න ඇත්තේ.. දෙමව්පියන් කූඩුවල ලග්ගවන සමහර දරුවන් හමුවේ ඇය කෙතරම් උතුම් කාන්තාවක්ද? සැමියයි දරුවනුයි උපරිමයෙන්ම ඇයට සහයෝගය දෙන නිසා ඇය වාසනාවන්ත කාන්තාවක්.. එතුමියගේ දරුවන්ට ඇය දෙන්නේ ඉතා උතුම් ආදර්ශයක්.. ඇයට හිනාවුණු කාර්යාලයේ සහෝදර නිලධාරීන් ගැන කතා කිරීමත් නිෂ්ඵල ක්‍රියාවක්...
ප්‍රාදේශීය ලේකම්තුමියගේ අවදානය පිණිසයි. ඉහත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරන මහජන සේවය කොපමණද කියා සිතා ගතහැකියි. සහෝදර සේවකයා හට එසේ නම්, සේවය ලබාගැනීමට යන මහජනතාවට කොපමණ සිනාවෙනවා ඇතිද? මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනයකි...
වාසනාවන්ත අම්ම කෙනෙක්...ඔබට පින්
මං හැමදාම කියනවා වගේ අපේ මිනිසුන් කළගුණ සලකන ඉතාම යහපත්, කොටින්ම වැඩිහිටියන් අනිවාර්යෙන් මහලු නිවාස වලට ගාල් කරන බටහිර රටවලටද ආදර්ශයක්. පොඩි වරදකට ඇත්තේ දේශපාලනය පිළිබද පරිණත දැක්මක් නොමැතිවීම පමණයි.
නූගත්කමද, අසංවරකමද දන්නේ නෑ.. වැඩි දෙනෙක් බලා ඉන්නේ තව කෙනෙක්ට හිනාවෙන්න. තව කෙනෙකුට සහනයක් වෙන්ඩ බැරි නම්, ඒ වෙන අතපසුවීමක් හෝ අත්වැරදීමක් නොදක්කා මෙන් ඉන්න ඉගෙන ගන්න..
මම දැකපු උතුම්ම කාන්තාවක්.., එතුමියට කවදාවත් වරදින එකක් නැහැ.
හිනාවෙන්න ඕනෙ ඇයට නොවෙයි, ඒ වගේ අයට හිනා වෙන අමනයින්ටයි...!