මේ දිනවල ඇතිවූ තෙල් අර්බුදය නිසා බිරියගේ යතුරුපැදිය රැගෙන තෙල් පෝලිමට ගොස් එහි දී ඇතිවූ ආලවන්ත කමක් මෝරා යාම නිසා බිරියත්, නිවසත්, යතුරුපැදියත්, අහිමි වූ පුවතක් බටහිර පස්දුන් කෝරළයේ ගමකින් වාර්තා වේ.
පිටස්තර ප්‍රදේශයකින් පැමිණි පුද්ගලයකු මේ ගම් ප්‍රදේශයේ බින්න විවාහයක් කර ගත්තේ දෙපාර්ශ්වයේම ආශීර්වාදය මතයි. විවාහයෙන් දරුවන් නොමැති මේ දෙපළ වසර කීපයක් එකට ජීවත් වී සිටි අතර ඇති වූ තෙල් අර්බුදයට මුහුණ දීම සඳහා බිරියගේ යතුරුපැදියට තෙල් ගැසීම සඳහා නගරයේ තෙල් පෝලිමට ගියේ වැඩි කාලයක් පෝලිමේ සිටීමට සිදුවන නිසයි.
මෙසේ පෝලිමේ සිටින අතර ඔහු ළඟම යතුරුපැදියකට තෙල් ගැසීමට පැමිණි කාන්තාවකද සමඟ කතාවට වැටුණේ කාලය ගෙවා ගැනීමට වුවත් පැයක්  දෙකක් ගතවීමේදී මෙය ආලවන්තකමකට පෙරළී ටික ටික මෝරා යාම නිසා ඉතාම ළඟ ඇසුරක් බවට පත්විය.


කාලය ගෙවී ගෙවී යාමෙන් පසු තද අව් රශ්මියත් හේතු කොටගෙන ඇතිවන අසීරුතාවයට පෙම්වතියගේ කුඩයද මේ දෙදෙනාට විශාල සහනයක් ලබාදුනි. දැන් ඇයගේ ඕනෑ එපා කම් ද පිරිමසා දීමට මොහුගේ සහාය උපරිමයෙන් ලැබෙයි. දැන් දවස ගෙවෙන්නේද නොදැනුවත්වමයි. සවස් වන විට දෙදෙනාගේ යතුරුපැදි දෙකට තෙල් පුරවා ගත් අතර වෙන්ව යාමට කිසිම අදහසක් නොවූයෙන් පෙම්වතියගේ ආරාධනයෙන් ඇයගේ නිවසට ගියේ ඉතාමත් කැමැත්තෙනි.
දැන් ඔහුට ඇය තනිකර දමා ඒමට ද නොසිතෙයි. කාලය ගෙවී රාත්‍රී කාලය උදා වූයෙන් කමක් නැහැ ඕන දෙයක් වුනාවේ  සිතා බිරියට දුරකතන ඇමතුමක්ගෙන  අද එන්න වෙන්නේ නැහැ තෙල් ඉවරයි.
තව ටිකකින් තෙල් එන  නිසා මම මෙහෙමම පෝලිමේ ඉඳලා තෙල් ගහගෙන එන්නම් පරක්කු උනාට කලබල වෙන්න එපා කියාය.
බිරිය ද මෙය විශ්වාස කර එදා දවස කාලය ගෙවා ගත්තත් පසු දින දවල් වනතුරු මොහු නොපැමිණීම නිසා නගරයට ගියේ මේ ගැන සොයා බැලීමට වුවත් ඉන්ධන පිරවුම් හලේ තෙල් ඉවර වී පෝලිම ද නොතිබුණි.
ඇයට ඇති වූ සැකය මත තොරතුරු සොයා බලා ඉතාමත් ආයාසයෙන් තම ස්වාමිපුරුෂයා සිටිනා තැන සොයා ගිය අතර  නිවසක මිදුලේ නතර කර තිබූ යතුරුපැදියෙන් ස්ථානය සොයාගත් ඇය සිදුවී ඇති කරුණු තේරුම් ගෙන නිවස තුළ  සිටින නව යුවළ දෙස නොබලාම යතුරුපැදියත් රැගෙන ආපසු නිවසට ගියේ මොහු ගැන තිබූ බලාපොරොත්තු සුන්කර ගනිමිනි.

මතුගම අධිකරණ මහීපාල ජයලත්