කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ඔත්තේ දිනයදා බින්දුවට තෙල් ගහන්න ගොස් තෙල් බින්දුවක් වත් නොගහා තෙල් ගාන්න ගෙදර ආ අයකු පිළිබඳව දකුණේ පිරවුම් පොළකින් අසන්නට ලැබේ.
මිනිහා උගත් මෝඩයෙකි. එමෙන්ම නොදන්නා දෙයක් නැත්තෙකි. නිරන්තරයෙන්ම කරනුයේ කටින් ජය ගැනීමට උත්සහා කිරීමය. ඒ තර්ක විතර්ක කරය. ඔහු කරන ඇතැම් තර්ක විහිළු සපයන්නකි.
එදා ඔහු සිය යතුරු පැදියට තෙල් ගහන්න නගරයේ පිරවුම් පොළකට ගියේය. එදා තිබුණේ රථ වාහනවල අන්තිම අංකය ඔත්තේ ඉලක්කමට තෙල් ගහන දවසකි. මොහුගේ යතුරු පැදියේ අන්තිම අංකය බින්දුවය. මොහු දැන් තෙල් පෝලිමේය. පෝලිමේ සිටින අය මොහුට කීවේ ඔහුට තෙල් ගහ ගන්න බැරි බවය. ඒ ඔහුගේ යතුරු පැදියේ අන්තිම ඉලක්කම බින්දුව බැවිනි. බින්දුව ඉරට්ටේ බව බොහෝ දෙනා දනිති. නමුත් ඔහු එය නොපිළි ගත්තේය.
පෝලිමේ සිටි අය ඔහු එක්ක වාද කරන්න නොගියහ. ඒ එය තේරුමක් නැති ක්‍රියාවක් බැවිනි. ඒ එක්කම ඒ වෙනුවෙන් ඔහු කරන තර්කය බිඳ හෙළීමට කවුරුත් අෙපාහොසත් වූ බැවිනි. බින්දුව ඉරට්ටේ බව බොහෝ දෙනා දනිතත් එය ඉරට්ටේ බව ඔප්පු කිරීමට තරම් කෙනෙක් ඒ අතර නොවූහ.
ඔහු පෝලිමේ දාඩිය මුගුරු පෙරාගෙන තෙල් ගැසීමේ වාරය උදා කර ගත්තේය. ඔහුගේ යතුරු පැදියේ අංකය බැලූ ඉන්ධන පිරවුම් පොළේ සේවකයා අද ඔත්තේ දවසක් බැවින් ඉරට්ටේ අංකයට තෙල් නොගහන බව කීවේය. දැන් ඔහු පිරවුම් පොළ සේවකයා සමග තර්කයේය.
ඉරට්ටේ කියන්නේ මොන ඉලක්කම්වලට දැයි ඔහු සේවකයාගෙන් ඇසුවේය. දෙකෙන් බෙදුවාම හරියට සමාන කොටස් දෙකකට බෙදන ඉල්ලක්කම්වලට බව සේවකයා ලත් දැනුමෙන් කීවේය. දෙක, හතර, හය, අට, බින්දුව වැනි ඉලක්කම්වලට බව සේවකයා කීවේය. එතකොට බින්දුව දෙකෙන් බෙදෙනවද, බින්දුව දෙකෙන් බෙදුවම උත්තරය මොකක්ද යයි ඔහු ඇසුවේය. සේවකයා නිරුත්තරය. ඔහුට ඒ ගැන අවබෝධයක් නැත්තේය.
දැන් ඔවුහු දෙදෙනාගේ වාදය නැගලා යති. පෝලිමේ සිටින අයගේ මල ඕවර්ය. ඔහු කියනුයේ බින්දුව ඔත්තේ කියාය. සේවකයා කියන්නේ එය ඉරට්ටේ කියාය. බින්දුව ඉරට්ටේ නම් එය ඔප්පු කරන්නැයි ඔහු සේවකයාට කීවේය. මේ වාදය පෝලිමේ සිටි අයට වාතයක් විය. පෝලිමේ සිටි අය එතනට රොක්වූවේ තෙල් නොගහන්න හේතුව බැලීමට සහ මෙතන සිදුවන දේ දැක ගැනීමටය.
මෙය නොරිස්සූ කොලු ගැටව් මොහුට පහර දුන්නේ මොහු නිසා තමන්ට තෙල් ටික ගහ ගන්න බැරිව පෝලිමේ සිටින්න සිදුවූ බැවිනි. මේ ජරමරය අස්සේ එතනට නගරයේ පාසලක ප්‍රසිද්ධ ගණිතය විෂය උගන්වන ගුරුවරයෙක් හොස්ස දැමුවේය. මෙය ඇසූ ගුරුවරයාට හොඳටම හිනාය. ඔහු බින්දුව ඉරට්ටේ බව පෙන්නුවේය. බින්දුව දෙකෙන් බෙදුවම උත්තරය බින්දුවයි. බින්දුව දෙකෙන් බෙදුවම ඒ සමානම කොටසක් වන බින්දුව ලැබෙන බව ගුරුවරයා කීවේය. ඒ වෙන විට මේ හාදයා කොල්ලන්ගෙන් තෙල් ගාන්නම ගුටි කා හමාරයි. ඒ විතරක් නොව හූ හඬ මධ්‍යයේ තෙල් බින්දුවක් වත් නොගහා ඔහුට ආපසු එන්න සිදුවූවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd