පෝද්දල සරත් ආනන්ද ගමගේ 



බස් ගාස්තු වැඩිවීමෙන් පසු අවම ගාස්තුව දුර ප්‍රමාණය ගමන්  ගත්  කාන්තාවක බස් කොන්දොස්තරවරයාට මුදල් ගෙවීමට ගොස්  සිදුවූ  හුටප්පරයක් ගැන අපූරු කතාවක් දකුණේ  අග නගරය ආසන්න ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
ප්‍රධාන නගරයේ සිට හරියටම  බස් හෝල්ට්  තුනක දුරකින් පදිංචි  ඇය  මැදිවිය ඉක්ම වූ අවුරුදු 75ක් පමණ වූ කාන්තාවකි. ගුරුවරයකු  වූ  සැමියා මියයාමෙන්  අනතුරුව  ඔහුගේ  විශ්‍රාම වැටුපටද  ඈ හිමිකම්  කියන්නීය. බාල පුත්‍රයා සමග මහ ගෙදර වෙසෙන ඇය තවමත්  ස්වාධීනව  කටයුතු  කරන්නියකි. සමාජශීලී කාන්තාවක  වන  ඇය  ප්‍රදේශයේ සමිති සමාගම් වලද  ක්‍රියාකාරී  සාමාජිකාවකි. සමහර  ඒවායේ නිලතලද දරයි. නොයෙක් කටයුතු  සඳහා ඈ සතියකට තුන් හතර වතාවක්  නගරයට යන්නීය. දවසට දෙතුන් වතාව යන එන දවස්ද  තිබේ.  මේ  සියලු‍ ගමන් යන්නේ පොදු  ප්‍රවාහන සේවයේ බස්  රථවලිනි.


  තෙල් අර්බුදයත් සමග බස් ගාස්තු ඉහළ දැමූ  දිනයේද  ඇය  නගරයට යන චේතනාවෙන් පැමිණ තම නිවස  අසලින්  බස්  රථයකට ගොඩ විය. කොන්දොස්තර තැන ළඟට පැමිණ අත දික්කරද්දී  ඈ  අලු‍ත්  බස් ගාස්තුව ඔහු අත තැබීය. ‘‘තිස්තුන නෙවෙයි ගාන  තිහයි”‍ කියමින් ඔහු රුපියල්  තුනක් නැවත ඈ අත තැබීය.”‍ අවම  ගාස්තුව රුපියල්තුනකින් ඉහළ දානව කියල ඊයෙ ටී.වී එකේ කිව්වනෙ”‍යි කියමින් ඈ රුපියල් තුන නැවතත් ඔහුට  දික් කළාය.”‍ හරි ! හරි ! ගාන වැඩිවෙලා තියෙන්නෙ. දැන් තිහයි”‍යි කියමින් කොන්දොස්තර ඇයට කරුණු   පැහැදිළි  කළේය. 
‘‘එහෙම  වෙන්නෙ කොහොමද? කලින්  තිබුණු ගාන තිහයි. තුනක් වැඩිවුණා නම් දැන් තිස් තුනයිනෙ”‍ කියමින් ඈ ඔහු  නිවැරදි  කළාය. එහෙත්  ඊට කිසිවක්  නොකී කොන්දොස්තර එතනින් හිමින් සීරුවේම මාරුවී බස් රථයේ ඉදිරියට ගමන් කළේය.
 අනතුරුව එම කාන්තාව තමා දැන් වසර දෙකක  පමණ  කාලයක්  තිස්සේ  දහස්වාරයක් පමණ මෙම බස් රථවල ගමන්  කළේ  අවම  ගාස්තුව රුපියල් තිහක් යැයි විශ්වාස කරමින් යැයි බස් රථයේ ගමන් කළ  මගීන්ට පැවැසුවාය.තමා රුපියල් තිහ දීපු  කිසිම දවසක  ඉතිරි රුපියල්  තුනක්  කවදාවත් තමාට ලබා නොදුන් බවද ඈ ඔවුන් හා වැඩිදුරටත්  කියා සිටියාය. ‘‘මුං මේ විදියට අපේ සල්ලි කොච්චරක් නම් මංකොල්ල  කන්න  ඇද්දැ”‍යි සමස්ථ මගී  ප්‍රවාහනයටම දෙස් දෙවොල් තබමින්  නගරයට සේන්දු වූ බස් රථයෙන් ඇය බැස ගත්තාය. බසයේ වේගය  අඩාළවනවාත් සමගම බස් කොන්දොස්තරද බස් රථයෙන් බැස  නොපෙනී ගොස් තිබුණි.
බස් රථයේ සිටි අයකු මෙම කාන්තාව හා කොන්දොස්තරවරයාගේ  කතා බහ වීඩියෝ ගතකර ෆෙස්බුක් හරහා අන්තර්ජාලයට මුදාහැර තිබීම   නිසා මෙය අද රට තොට පතල පුවතක් වී  තිබේ.