දුන්හිඳ දිය ඇල්ල අසල දී සැර බුලත්විටක් කන්නට දී කුණුහරුප කීපයක් ඉගැන්වීමට උත්සාහ කළ මෙරට උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන තරුණ පිරිසකට පැහැදිලි සිංහලෙන් අවවාද අනුශාසනා කළ චීන ජාතික තරුණයින් දෙදෙනකු පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තා වේ.
සිද්ධිය මෙසේය
ඔවුහු මෙරට උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන තරුණ පිරිසකි. පසුගිය සති අන්තයේ ඔවුහු දුංහිද දිය ඇල්ලට පැමිණියේ ඔවුන්ගේ භාෂාවෙන්ම කිවහොත් පොඩි ෆන් එකක් ගන්නටය.
දුන්හිඳ දිය ඇල්ලට අසලට පැමිණි ඔවුන්ට දැක ගන්නට ලැබුණේ දිය ඇල්ල ආසන්නයේ ගලක් මත හිඳිමින් ඡායාරූප ගන්නා කඩවසම් චීන ජාතික තරුණයින් දෙදෙනෙකි.
චීන ජාතිකයින් දෙදෙනාත් තරුණ පිරිසත් හුවමාරු කර ගත් සිනහව අවසානයේදී පුංචි මිතුදමක් බවට පත්වූයේ ඔවුන්ටත් නොදැනීමය.
මෙරට තරුණ පිරිස අතර සිටි එක් තරුණයෙක් තම මිතුරන්ට අපූරු යෝජනාවක් ගෙනාවේ මේ අතරේය.
“මචං අපි මුංට දුංකොළයි හුණුයි දාලා විටක් දෙමු”. “අපි මුංට කුණුහරුප ටිකකුත් කියලා දෙමු” තවකෙක් කීය.
තරුණයෙක් බුලත් දුංකොළ මෙන්ම වැඩිපුර හුණු එක් කළ විටක් චීන ජාතික තරුණයින් දෙදෙනා අත තබද්දී තවත් කීප දෙනකු නිතර භාවිත කරන කුණුහරුප කීපයක් චීන ජාතිකයින් දෙදෙනාට කියා දුන්නේ කණ්ඩායමේ සෙසු පිරිස ද සිනහ ගන්වමිනි.
මේ වචන කියලා තමා අපි සුභ පතන්නේ. තවත් තරුණයෙක් කැඩිච්ච ඉංග්‍රීසියෙන් චීනුන්ට වචන විස්තර කළේ ඒ තුළින් අපමණ වින්දනයක් ලබමිනි.
තරුණයින් සමග සිනහවෙමින් අපූරු වින්දනයක් ලබා ගත් එක් චීන ජාතිකයෙක් මොහොතක් ගතවෙද්දී පැහැදිලි සිංහලෙන් සිය හඬ අවදි කළේ තරුණ පිරිස පමණක් නොව ඒ අවට සිටි පිරිස ද පුදුමයට පත් කරමිනි.
“මල්ලිලා අපි මේ රටට ඇවිත් අවුරුදු දහයකට වැඩියි. අපි තමා අර අහවල් පාර කාපට් කළේ. මම ඉංජිනේරුවෙක්. මේ අපේ මැනේජර්. අපි මේ රටට ආව දවස්වලත් මුලින්ම මේ රටේ අය කියලා දුන්නෙ ඔය වගේ කුණුහරුප තමා. හැබැයි දැන් අපි හොඳට සිංහල දන්නවා. ඒ වගේම බුලත් විට ගැනත් දන්නවා.
ඔයාලා කියලා දුන්න වචන කියන්නේ ඔයාලගෙ ගම්වල අය රණ්ඩු වුණාමයි. ඒ වගේම බුලත් විටක් දෙන්නේ සුහද බව ඇති කර ගන්න මිසක් දුංකොළයි හුණුයි කන්න දීලා මත් කරවන්න නෙමෙයි. චීන ජාතිකයා දිගින් දිගටම කියාගෙන යද්දී තරුණ පිරිස එකිනෙකා දෙස බලමින් ලැජ්ජාවෙන් ඇඹරෙන්නට විය.
කෙසේ වෙතත් තරුණයන් පත් වූ අපහසුතාව දැනගත් චීන ජාතික දෙපළ ඒ අසල වූ වෙළෙඳ සලකින් මෙගා ප්‍රමාණයේ බීම බෝතල් දෙකක් ද මිලදී ගෙන තරුණ පිරිස අත තැබුවේ හැබැයි අපි සිංහල ඉගෙන ගත්තෙත් ඔයාලගෙම රටේ දුප්පත් කම්කරුවන්ගෙන්” යැයි ඔලොක්කුවට මෙන් පවසමිනි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නේ නැහැ උසස් අධාපන ආයතනය . (හේ)
ලබන අධ්‍යාපනය උසස් වුණාට මනස උසස් නැත්නම් ඉතින් මොනවා කරන්නද නේද? මේක සුළු සිද්ධියක් වුණාට ලාංකික සමාජයේ යථාර්තය ඕක තමයි. නෝනලා, මහත්වරු කියලා කටපුරා කියන්න හැකි අය ඉන්නේ අතලොස්සයි. අධ්‍යාපනය ලැබුවාට මනසින් උසස් පුද්ගලයින් බිහිනොවන කාරණය කියන්න මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මෙහෙට එන බොහෝ සංචාරකයින් සිංහල දන්නවා (නි)
ජනතා මුදලින් ඉගෙනගන්න මේ අයට රට ගැන කිසි හැගීමක් නැහැ . ආයතනය උසස් වුනාට පහත් පුද්ගලයෝ ගියාම වෙන දේ තමයි ඔය.(හේ)
අපේ රටේ තරුණ පරපුර... වැඩිහිටි පරපුර මීට වඩා අන්තයි. බේබදු කමෙන් ලෝකේ අංක එක. විදේශිකයෙක් දැක්කහම පුදුම අමාරුවක් තියෙන්නේ. (හේ)
මේකට කියන්නේ දූපත් මානසිකත්වය කියලා. අපි දූපතක වගේ ඉන්න නිසා අපිට අනෙකුත් ජාතීන්ගේ හෝ විවිධ රටවල සමාජ ක්‍රමයන් අපි දන්නේ නැහැ. මේක බරපතල තත්වයක්. රටක් හැටියට ලෝකෙට යන්න අපිට හරි අපහසුයි (නි)
ලෝකෙන් උතුම් රට සිරි ලංකාවයි. (නි)
මේ වගේ පහත් වැඩ ගැන අපිටත් ලැජ්ජයි! (නි)
චීන ජාතික තරුණයන්ට ප්‍රශංසා කළයුතුය. එහෙත් මේ රට වනසන මෙවැනි අමනයන්ට සුදුසු දඬුවම් නොලැබීම ගැන කණගාටු වෙමි. (නි)
ලංකාවේ මිනිසුන්ගෙ සාමාන්‍ය බුද්ධි මට්ටම 79%යි. චීන්නුන්ගෙ 105% යි (නි)
හැම සිංහලයෙක්ම මේ ගැන ලැජ්ජා වියයුතුය (නි)
උගත්කම විතරක් තිබුනාට මදි. චාරයක් කියලා දෙයක් තියෙන්න ඕනෑ. මිට දශක ගණනාවකට කලින් හිටිය උගතුන්ගේත් අද උගතුන්ගේත් වෙනස ඕකයි. (නි)
රටේ අනාගතය බාර ගන්න අයද මේ (ම)
ගතිගුණ වලින් නම් බොහොම අන්තිමයි මේ මල්ලිලා ටික. (නි)
සමන්ත ඕකට කියන්නේ දුපත් මානසිකත්වය නෙමේ, මන්ද මානසිකත්වය කියල,රටේ පිළිගත් නීතියක් නැති නිසයි මේ වගේ වැඩ වෙන්නේ,(හේ)
පුදුම වෙන්න දෙයක් නැහැ. ඔවුන් දෙන රැග්, කරන පිකටින් දැක්කම හිතාගන්න පුළුවන් ඔවුන්ගේ බුද්ධිය කොතනද කියලා. අනේ අහිංසක දෙමවුපියන්ගේ මුදල්. (නි)
පහත් මානසිකත්ව ඇති මිනිස්සු තමයි මේ (හේ)
ඔන්න අපේ රටේ තරුණ පරපුර. මේ වගේ වැඩ කළාම රටකට පැවැත්මක් තියේවිද? මෙයාලා දන්නේ ස්ට්‍රික් කරන්නයි පිකටින් කරන්නයි විතරයි (ම)
බදුල්ලේ තියෙන උසස් අධ්‍යාපන ආයතනය ගැන නම් අපි දන්නවා. එකේ ඉස්සර නම් හොඳ වැදගත් ළමයි ඉගෙනගත්තේ. (නි)
අරන් දුන්න බීම බෝතල් දෙක ලැජ්ජා නැතුව බොන්නත් ඇති (නි)
\"සිංහ ලේ\" ජයවේවා!!! (ම)
උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙන ගත්තාට පහත් ජන්මය නැති වෙන්නේ නැහැ (ම)
සිංහලයාගේ බුද්දි මට්ටම % (රේ)
මම ජපානයේ අධ්‍යාපනය හදාරද්දී ඔවුන් හැකි සෑමවිටම අවංකව හැමදෙයක්ම කියා දුන්නා. රැකබලා ගත්තා. මෙහෙ අය එ්කටත් එක්ක, හරිම පහත් මානසිකත්වයක් තිබෙන්නේ. කෝච්චිවල යන මගීන්ට ගල් ගහන, විදේශිකයන්ට මේ වගේ සළකන පුදුම උද්දච්ච මෝඩ මිනිසුන් අධිකම රටක් (නි)
චීනයෙදී චීන ජාතිකයන් අපට ඉතාම උනන්දුවෙන් සලකනවා බටහිර රටවල මිනිස්සු අපට සලකන ආකාරයෙන් නොවේ ඔවුන් අපට උදව් කරන්නේ .චීන වැසියන් ජාතිබේද නෑ එවැනි මිනිසුන්ට මෙහෙම සැලකීමෙන් පෙනෙන්නේ අපි තාමත් මහා නොදියුණු තැනක ඉන්නා බවයි (ම)
මෙය ඉතා වැදගත් ප්‍රවෘත්තියක්. රටේ හැඩගැස්මටත්, අධ්‍යාපනය දෙන්නන්ටත්, ලබන්නන්ටත් මෙය පාඩමක්. (නි)
මේ වගේ අය තමා අර පාරේ ඉඳගෙන හොඳ අධ්‍යාපන ආයතන වලට කරදර කරන්නේ. ලෝකය ගැන කිසිම හැඟීමක් නැති අය. (නි)
හොඳ වැඩේ මෙහෙම වැඩ ආයෙත් නොකරන්න (නි)
ගමකෑවට කමක් නැහැ ළමයිනේ, රට කන්න නම් එපා (නි)
උසස් අධ්‍යපනයක් අදාහරණ අය මෙහෙමදෙවල් කරනවා කිව්වහම පුදුම හිතුන , මේ අය කොච්චර බුද්මත්ව කටයුතු කළ යුතුද මේ අය රටත් කනවා , ගමත් කනවා .(අ)