බිරිය නිවාස අඩස්සියේ තැබු සැමියා යෙදු උප්පර වැට්ටියෙන් බිරියගේ ආශීර්වාදයෙන් ගත මනාවක් ද රැගෙන නිවසින් නික්ම ගිය පුවතක් කහල්ල පල්ලේකැලේ අභය භූමිය අවට ගමකින් අසන්නට ලැබුණි.
තරුණ වියේ පසුවෙන විවාහක යුවළකි. බිරිය ගෘහණියකි. සැමියා විදුලි කාර්මිකයෙකි.
ඔහු තැනින් තැනට ගොස් උපයන ආදායමෙන් බිරිය හා සිඟිත්තා හා සැමියා ජීවත් වෙති.
ඒ අතරේ සැමියා ඉඳහිට අඩියක් ගැසීමට යන නමුත් එදිනට බිරියට යක්ෂණිය ආරූඩ වනවාය. එය සියල්ල ඉවසීමට හුරු පුරුදු සැමියා නිසා නිවසේ ඇතුළත ඇවිළෙන ගිනි පිටතට නොයන බව අසල්වැසියෝ හොඳාකාරවම දැන සිටිති.
ඔය අතරේ ගමේ පැදුරු සාජ්ජයකි. ඒ සඳහා සහභාගි වෙන අයගෙන් මුදලක් අය කරන ලදි. ඒ එහි කෑම බීම සඳහා යන වියදම් පියවීම සඳහාය.
මෙම තැනැත්තාද ඉල්ලූ මුදල පැකිලීමෙන් තොරව දුන්නේය. ඒ ඔහුට එතැන දී ගීත ගැයීමට සුවිශේෂි වූ හැකියාවක් ඇති නිසාය. ඔහු එදින එළඹෙන තුරා ඇඟිලි ගැන්නේය. හරියටම එදින උදේ බිරියගේ මව හා පියා එම නිවසට ගොඩ වූහ. ඒ තම මුනුපුරා දැකීමටය. බිරිය ඔවුනට විශේෂ කෑම වේලක් හදන අතරේ සැමියාට කතා කළාය.
“තමුසේ ඊයේත් ජහ ජරාව බීලා ආවා. අද නම් ගිහිල්ලා බීලා ආවොත් මං නරකයි කියන්න එපා.“ දැඩි නීති හමුවේ බිරියගෙන් බේරුමක් නැති සැමියා නැන්දා මාමාට ඒවා ඇසෙන්නට නොදී කිසිත් නොකියා මුණිවත රැක්කේය.
ඔහු යහඵවකුට රහසක් කීවේය. “හවස් වෙලා කෝල් එකක් දීපන් මං කියපු විදියට වැඬේ කරපන්.’’ කියු වෙලාවට කෝල් එකක් එන බව දත් ඔහු පෝන් එක බිරිය අසලින් තියලා වත්තේ ළිඳ ගාවට පිය මැන්නේය. ඒ මුහුණ කට සේදීම උදෙසාය.
දුරකතනය නාද විය.
“හෙලෝ කවුද කතා කරන්නේ මහත්තයා නම් නෑ’’ ඇය කීවාය.
“අනේ නෝනා පන්සලේ ලයිට් නෑ. පන්සලේ ඔක්කෝම කලුවරේ ඉන්නේ. මහත්තයා ආව සැණින් පන්සලට එන්න කියනවා ද? ඇමතුම දුන් කෙනා ඉල්ලීමක් කළේය.
“ඒයි ඒයි ඇහුනාද, අනේ පන්සලේ ලයිට් නෑලු. ගිහිල්ලා හදලා දීලා එන්න.’’ බිරිය සැමියා වෙතට දිව ගොස් සිද්ධිය සැල කර සිටියාය.
“තමුසේ මොකද මට ආව කෝල් එක ඉස්සුවේ. ඔය අලි ඉන්න ඉසව්වේ මං මොකේද රෑට රෑ වෙලා යන්නේ. මම නම් යන්නේ නෑ. තමුසේ පැහිච්ච වැඩ කරලා උත්තර දුන්නා නම් තමුසේ ම යනවා’’. ඔහු ගෙට වැදුණේය.
“එපා පුතේ එහෙම කරන්න පන්සලෙන් නේද කෝල් එක ආවේ. ත්‍රී විලර් එකක්වත් අරගෙන යන්න. “නැන්දා මාමා ද ඉල්ලීමක් කළහ.
“.මට ඕවායේ යන්න කොයි සල්ලී’’. ඔහු බිරිය දෙස රවමින් උත්තර දුන්නේය.
“හරි හරි මං ත්‍රීවිලර් එකකට එන්න කිව්වා. ඒ මුදලත් ගෙවන්නම්. ඔයා ගිහිල්ලා එන්න. “බිරිය කියු සැණින් වාහනය ද මිදුලේ නතර විණි.
“බලපන්කෝ මචං, මේ ගෑනීගේ පණ්ඩිත වැඩ හින්දා මං කන කට්ටක් ’’ බිරියට දොස් නගමින්ම එයට ගොඩ වූ ඔහු එතැනින් නික්ම අවැසි තැනට ගොස් නතර විය.
“අනේ මේ පන්සලේ වැඩේ නම් දැන්ම ඉවර කරන්න බැරි වෙන පාටක් තමයි තියෙන්නේ. අලිත් හිටියා එද්දී පාරේ. කමක් නෑ මං වැඩේ කීයට හරි ඉවර කරලා එන්නම්’’ ඔහු නැවත බිරියට කෝල් එකක් දුන්නේය.
“මෙහේ අහන්නකෝ අවදානම් නම් රෑ වෙලා එන්න එපා. අම්මලා ගෙදර ඉන්න හින්දා මටත් තනියක් නෑනේ. ඔයා නිදාගෙන ඉඳලා හෙට උදේම එන්න.’’ ඇය එසේ උත්තර දෙද්දී නැන්දාත් මාමාත් එසේම ඉල්ලීම් කළහ.
ඒ අනුව ගෙදරින් ලද අවසරය මත ඔහු පදමට වෙරි වී ගීත ගයමින් විනෝද වෙමින් සිතු සේ සතුටු වුනාලු.
මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd