රාත්‍රියේ හොරෙන් මහ මග දමා ගිය කුණු මල්ල උදේ පාන්දරම පොලිසියෙන් නිවෙසට ගෙනත් දීමේ පුවතක් තලාතුඔය මාරස්සන ප්‍රදේශයෙන් වාර්තා වේ.

තලාතුඔය පොලිසියේ උසස් නිලධාරියකු රාජකාරි කටයුත්තකට පාන්දරම මාරස්සන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මහ මග අයිනේ දමා තිබූ කුණු මල්ලක් දැක යතුරුපැදිය නවතා කුණු මල්ල අවුස්සා බලා ඇත.
ඇවිස්සූ කුණු මල්ලේ තිබූ ලිපිනය සහිත බිල්පතක් හමුවී ඇති අතර එම කුණු මල්ලේ අයිතිකරු බිල්පතින් හඳුනාගත හැකි වී ඇත.
පසුව කුණු මල්ල අතට ගත් පොලිස් නිලධාරියා ලිපිනයේ සඳහන් නිවෙස සොයා ගොස් දොරට තට්ටු කොට ඇත. නිවෙස් හිමියා දොර ඇරි පසු ‘සුභ උදෑසනක් මහත්මයා, මම පාරේ එද්දී ඔබතුමා ගෙනියපු කුණු මල්ල වැටිලා තිබිලා හමු වුණා, මෙන්න ඒක’ කියා බාරදී ඇත.
කරකියාගත දෙයක් නොවූ වැදගත් මහතාට ඉහින් කනින් දාඩිය දමා ඇති අතර කටින් වචනයක් පිට නොවන තරමට ගොළු වී ඇත.
පොලිස් නිලධාරියා ද මොකුත් නොකියා පිටවී ඇති අතර නීතියෙන් දඬුවම් දීමට වඩා මෙවැනි දඬුවම් දීමෙන් පරිසරය විනාශ කරන්නන්ට හොඳ පාඩමක් ඉගැන්විය හැකි බව පොලිස් නිලධාරියා පැවැසුවේය.
(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශමත් පොලිස් නිලධාරියෙක්. කලාතුරකින් පොලිසියට ලැබෙන මල් පොකුරක්...!