කැබිති ගොල්ලෑව හේමන්ත රණසූරිය 



රෝගයකට පිළියමක් යොදන්නට ගිය තැනැත්තකුගේ ඇඳිවතට ගිනි ඇවිලු‍නු පුවතක් වාහල්කඩට නුදුරු ගමකින් දැනගන්නට ලැබුණි. 
එය තේ කඩයකි. තේ මුට්ටිය රත් කිරීම සඳහා ළිපට දැමූ දර යහමින් ඇවිළෙමින් තිබුණි. මෙම තේ කඩයේ මුදලාලි හාමිණේ තරමක් රූමත් තැනැත්තියකි. ඇය කා සමඟත් ඉතා සුහදශීලීව කතාබස් කළාය. ගැහැනු පිරිමි භේදයකින් තොරව ඉතාම සමීපව වාඩිවී සිනහමුසු මුහුණින් අල්ලාප සල්ලාපයේ යෙදීමට ප්‍රිය කරන කාන්තාවකි.
තේ කඩය පේන නොපෙනෙන දුරින් පිහිටි නිවසක තනිකඩව ජීවත් වූ වයස අවුරුදු හැත්තෑ පහකට නොඅඩු ආරෝහ පරිණාහ දේහයකින් යුත් පුද්ගලයකු මෙම තේ කඩයට නිරන්තරයෙන්ම පැමිණි අතර, තේ කඩය හිමි කාන්තාව සමඟ ඉතාම සුහදව පැය ගණන් දොඩමළු වීම ඔහුගේ සිරිතකි. 
මෙන්න මේ කියන දවසේ අවුරුදු හැත්තෑ පහේ ආරෝහ පරිණාහ දේහධාරියා මුදලාලි හාමිණේ සමග කතා බස් කරමින් සිටියේය. 
‘‘අනේ බලන්ඩකෝ අයියේ මගේ මේ කකුල් දෙකේ දණහිස් දෙක වටේටම දැන් දවස් තුන හතරක ඉඳලා කහනවා, කහනවා, කහනව ඉවරයක් නැහැ. දැන් කකුල් හම යන්නත් ළඟයි. අනේ මං දන්නෑ මොනවා කරනවද කියලා?”‍යනුවෙන් කියමින් මුදලාලි හාමිණේ ඇයගේ කකුල් දෙකේ දණ හිස් අසල වේගයෙන් කසන්නට පටන් ගත්තාය.
ඒ මොහොතේ කඩයේ සිටියේ මුදලාලි හාමිණෙත් දේහධාරී වයෝවෘද්ධයාත් පමණි. 


අප කතානායක වයසක තෙමේ මුදලාලි හාමිණේගේ කකුල් දෙක දෙස යටැසින් බලා ‘‘කෝ දෙන්න නංගියේ මම කසන්නම්”‍ යනුවෙන් පවසා ඇයගේ අවසරයකින් තොරවම එක්වරම මුදලාලි හාමිණේගේ කකුල් දෙකේ දණහිස් දෙක පමණක් නොව වෙනත් තහනම් ඉසව්වක් අසලද ඔහුගේ දෑත් ඉතා යුහුසුලුව හසුරුවමින් කසන්නට පටන් ගත්තේය.
මුදලාලි හාමිණේට යකා ආවේස විය. ‘‘මේ මොන මගුලක් නටන්ඩ හදනවද. ඇත්තටම අයියේ තමුසෙට ඔල්මාදෙද. නාකි විසේ ගෙටත් උසේ කිව්වලු‍. පලයන් යන්න අහකට”‍ කියා දේහධාරී තැනැත්තා පසෙකට තල්ලු‍ කළාය.
අහෝ අවාසනාවක මහත. වයස අවුරුදු හැත්තෑ පහේ මහල්ලා තේ මුට්ටියත් පෙරළාගෙන ළිප උඩ ඔහුගේ පශ්චාත් භාගයෙන් ඉන්දවිය. 
එසැනින් ඇඳිවතටද ගිනි ගත්තේය. අසල ත්‍රීවිල් රථයක සිටි මාතලී පුත්‍රයා මේ සියල්ල දුටු නිසා ඔහු විදුලි වේගයෙන් තේ කඩයට පැන කසන ලෙඩේට පිළියම් දුන් පුද්ගලයාගේ පශ්චාත් භාගයේ ගිනි වහා නිවා දැමුවේය. 
මේ කතාව එතැනින් නිමා වුවද, එහි එක් ශේෂ වාක්‍යයක් ඉතිරි විය. මේ උස දේහධාරියා දකින විට ගමේ කොලු‍ ගැටව් ‘‘හොරි කසපන්.... ගිනි පිඹපන්”‍ කියමින් ඔහු අවුස්සා ගන්නවාලු‍.