පවතින තෙල් අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීමට ලැමිනේටින් කරන්නට ආයතනයේ නිලධාරිනියකට යැවු කිව්.ආර්. පත්‍රිකා මත්පැන් සාජ්ජයකට අත පිසින්නට ඇයගේ සැමියා භාවිත කළ පුවතක් වැව්බැඳි පුරවරයට අයත් මහවැලි ජනපද ගමකින් අසන්නට ලැබුණි.
නවීන වර්ගයේ ජංගම දුරකතනවලින් කිව්.ආර්. පත ඉන්ධන පිරවුම්හල් වෙතට ගොස් ස්කෑන් කර ඉන්ධන ලබා ගැනීමට හැකියාව ඇතත් අති දුෂ්කර පෙදෙස්වලට අන්තර් ජාලා පහසුකම් නොමැති හෙයින් එසේ කිරීමට නොහැකිව ගැටලු‍ මතුවෙන අවස්ථා ඇත.
මේ නිසා ඇතැම් අය අවැසි කිව්.ආර්. කේතය ලැමිනේටින් කරගෙන ආරක්ෂිතව තබා ගැනීමට කටයුකු කරති. මෙම ආයතනයේ සේවකයන්ට ද එකී ගැටලු‍ මතු වී ඇත. ඒ අනුව ඔවුන්ගේ ආයතනයේ සේවය කරන නිලධාරිනියකගේ පුතෙකි පොත් සාප්පුවක් පවත්වාගෙන යන්නේය. 
එහි පොටෝ කොපි  හා ලැමිනේටින් පහසුකම් ද තිබේ.
“අනේ මිස් මගේ බයික් එකට අවැසි කිව්.ආර් එක මම පොටෝ කොපියක් අරන් දෙන්නම්. පුතාට කියලා ඒක ලැමිනේටින් කරලා දෙනවාද?’’ සේවිකාවක ඇසුවාය.


ඒ පුවත ඇසූ තවත් අය පෙළින් පෙළට එම කාර්යය කර ගැනීම සඳහා පොටෝ කොපි රැසක් ගෙනැවිත් එකී නිලධාරිනියට බාර දුන්නේ සවස් වී වැඩ නිම වී ගෙදර යනවිට ඒවා රැගෙන ගොස් පසුදින එනවිට ගෙන්වා ගැනීමේ පහසුව තකාය.
එහෙත් නිලධාරිනියට තිබු කාර්යය බහුලත්වය නිසා මේසය මත තිබු පත්‍රිකා සියල්ලම අමතක වී ගෙදර ගියේය. එය දුටු තවත් අයකු ඒවා ගෙන ගියේ ඇයගේ නිවසට ගොස් බාර දීමටය. ඒ වෙනුවෙන්ම අමතර දුරක්  ගෙවා යන ගමනේදී එම නිලධාරිනියගේ විවාහක සැමියා නගරයේ දී අහම්බෙන් මුණ ගැසුණි.
“ආ.. මහත්තයා ඔයා හමුවෙච්ච එක හොඳයි. මං ඔයාලා ගෙදර යන්න යන ගමන්. මේ පෝම් ටික නෝනා  මහත්මියට දෙන්න.“ හෙතෙම ඒවා ඔහුට බාර දුන්නේය.
“හරි හරි මල්ලි දෙන්න’’ ඒවා බාර ගෙන බෑගයට දමා ගත්තේය. ඔහු නගරයට පැමිණ ඇත්තේ මත් වතුර තොල ගෑමටය. බාර් එක අසල නැවතුණු ඔහුට තව තවත් මිතුරන් එක් වුණි. 
බෝතල්, බයිට් වර්ග ගත් සියල්ලන් ඒ අසල වෙල් යායක රූස්ස ගසක් අසලට පිය මැන්නේ අධික රස්නය නිසා හෝටලයකට වඩා එතැන ඇති සුව පහසුව නිසාය.
 මචං දුමක් තිබ්බා නම් මරු නේද? ඒක ගේන්න බැරි වුණා. කියමින් ආයතනයේ නිලධාරිනියගේ සැමියා ඒවා ගෙනෙන්නට එතැනින් වෙළඳ සලක් වෙතට ගියේය. ඒ අතරේ අරක්කු බෝතලය කඩා අන් අය බීවත්, අත කට පිසින්නට කිසිවක් නැත.
එහේ මෙහේ සොයා බලද්දී බෑගයේ තිබී එකම වර්ගයේ කොළ කීපයක් හමු වුණි. ඉන් කීපයක් එළියට ගෙන කැබැලිවලට ඉරා එක එකා ඒවා බෙදා ගත්හ.
සිගරැට් ගෙනා බෑගයේ තැනැත්තා ද එහි තිබෙන කොළ කුමක්ද යන්න නොදැන ඔහුත් එතැන තිබු කොළවලින්ම අත කට  පිස ගත්තේය.
සියල්ලන්ගේම රතු කට්ට ඉක්මවා ඇත. ඇඳිරි වැටී තිබෙන නිසා ඔවුන් එතැනින් නික්ම යන අතරේ එහි සිටි පරිසර හිතකාමියකු එතැන විසිකර තිබෙන කොළ කැබැලි සියල්ලම අහුලා එම බෑගය තුළටම දැම්මේය. ඒ බවක් නොදත් ඔහු හතර ගාතයෙන් ගෙට ගොඩ විය.
ආයතනයේ බැරි වූ කොළ සැමියා අත එවු බව තම බිරිය ද දැන සිටියාය. ඒ අනුව බෑගයේ තිබු කොළ සියල්ල ඇය ලහි ලහියේ එළියට ගත්තේ පුතාට ලැමිනේටින් කරන්නට බාර දෙන්නටය.
එවු කොළ අතරින් බොහොමයක්ම ඉරා දමා තිබීමෙන් යක්ෂයා ආරූඪ වූ බිරිය කෑ මොර දෙද්දී “යකෝ අපේ එවුන්  බයිට් එකට ගත්තේ මගේ බෑගයේ තිබු ඒවා ද “යැයි සැමියා ඇයගෙන් ප්‍රශ්න කරනා නමුත් බේබදු සැමියා යාඵවන් කැටුව කර ඇති අසමත් ජාති වැඩේ ආයතනයට කියා ගන්නට බැරිව ඇය දැන් ළතවෙනවාලු‍.

 

මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම