IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කපන්න ගිය හූනියම ශාන්තියක් වෙලා

හූනියමක් කැපීමට ශාන්තිකර්මයක් කරමින් සිටි අවස්ථාවේදී සිදුවුණු අපූරු සිදුවීමක් නිසා පාඩමක් ඉගෙන ගත් පුවතක් කැබිතිගොල්ලෑව හේරත්හල්මිල්ලෑව ගමෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
කැබිතිගොල්ලෑව හේරත්හල්මිල්ලෑව ගම ඉපැරැණි ඉතිහාසයකට උරුමකම් කියන ගමකි. මෙම ගමේ පරම්පරා කීපයක් පදිංචිව සිටි සින්නක්කර ඔප්පු සහිත ඉඩමක හිමිකම ලැබුණු සූරසේන මුදලාලි තම මවුපියන්ට උදේ හවස පින් දෙමින් එම ඉඩමේ පදිංචිව සිටියේය. ඔහුට සිල්ලර බඩු වෙළෙඳ සැලක් තිබුණි. වෙළෙඳ සැලට යාබදව ඔහු ඉදිකළ දෙමහල් නිවසේ ඔහු පදිංචිව සිටියේය.
ඔහුගේ දරුවන්  දෙදෙනා උසස් අධ්‍යාපනය ලබා කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වූ අතර ඔහු තම බිරිඳ සමඟ  එම නිවසේ ජීවත් වූහ.


දිනක් සූරසේන මුදලාලිගේ බිරිඳ  ගෙවත්තේ කෙසෙල් පැළ සිටුවීම සඳහා උදැල්ලක් රැගෙන වළවල් හාරමින් සිටියාය. ටික වේලාවකින් ඇය මහත් කලබලයෙන් උදැල්ල පසෙකට වීසිකර සූරසේන මුදලාලි ළඟට හති දමමින් දුවගෙන පැමිණ කිසියම් පෞරාණික වස්තුවක් පෙන්වමින් මෙසේ කීවාය.
‘‘මම වළක් හාරද්දී  මේ පෙට්ටිය මතුවුණා. මම ඇරලා බැලු‍වා. බලනකොට ඒක ඇතුළේ මෙන්න මේ වළල්ලයි මුද්දයි තිබුණා. මේක කවුරු හරි අපට වළ කපන්න කරපු හූනියමක්. ආයේ අනුමානයක් නෑ”‍.
සූරසේන මුදලාලි එය හොඳින් පරීක්ෂා කර බැලුවේය. අවුරුදු හැට හැත්තෑවකට එහා ගිය  පැරණි බවක් එහි දක්නට ලැබුණි. ඔහු දස අතේ කල්පනා කළේය. හූනියම් පිළිබඳව ඔහු තුළ කිසිදු විශ්වාසයක් නොතිබුණත්, මෙම සිදුවීම නිසා එය  එසේ බැහැර කිරීමට නොහැකි බවක් ඔහුට සිතුණි. ඒ මොහොතේ වෙළෙඳ සැලට පැමිණ සිටි කිහිප දෙනෙක්ද මෙම සිද්ධිය අසා”‍ මුදලාලි. බලාගෙන ඉඳලා හරියන්නෑ. මේක මුදලාලිලාට ලොකු වින්නැහියක් කොරන්න හිතාගෙන කරපු හූනියමක්. ආයේ දෙකක් නෑ.”‍යැයි පැවසූහ.
එදින සවස මුදලාලි තම බිරිඳ සමග මේ පිළිබඳව සාකච්ඡා කොට, පසුදා උදේ ප්‍රදේශයේ නම් දැරූ කට්ටඬියකු හමුවීමට ගොස් සියලු‍ විස්තර පැවසීමෙන් අනතුරුව කට්ටඬියාද මෙය බලගතු හූනියමක් බව තහවුරු කළේය.
එදින සූරසේන මුදලාලිගේ නිවස දේවාලයක් සේ පෙනුණි. කට්ටඬියා විසින් නියම කරන ලද සියලු‍ බඩුබාහිරාදිය අධික වියදමක් දරා පිළියෙල කර වස්දොස් කපන්නට කට්ටඬියා රතු ඇඳුමෙන් සැරසී දුම් කබල අතට ගෙන වැඩේ ආරම්භ කළේය.
කොළඹ සිට ශ්‍රී පුර දක්වා පැමිණෙන ලංගම බස් රථය එදින හවස ඔවුන්ගේ කඩය අසල නතර විය. ඉන් බැස ගත්තේ  කොළඹ ප්‍රදේශයේ තම පුත්‍රයකුගේ නිවසෙහි සිටින සූරසේන මුදලාලිගේ වයෝවෘද්ධ මවය.
සූරසේන මුදලාලිගේ බිරිඳ බසයෙන් බැසගත් නැන්දම්මා කැඳවාගෙන ගෙතුළට පැමිණියේ”‍ අම්මා අද එන බවක් අපට නිකමටවත් දැන්වූයේ නෑ නේද”‍යනුවෙන් අසමිනි.
තම පුතාගේ නිවසෙහි මේ සිදු කරන්නේ කුමක්දැයි මව තම පුතාගෙන් ඇසුවාය. සූරසේන මුදලාලි මුල සිටම  සියලු‍ දේ විස්තර කර පවසමින් වළල්ල සහ මුද්ද තම මවට පෙන්නුවේය. මේ හූනියම නිසා මෙම ශාන්ති කර්මය සිදු කරන බවද ඔහු මවට පැහැදිලි කර දුන්නේය.
එය ඇසූ මව දෙයියෝ සාක්කි යනුවෙන් පවසා ඇයගේ දෑත් තම හිසේ තබා ගත්තාය.
“මේ මොන හූනියමක්ද. මගේ අම්මගේ අම්මා, ඒ කියන්නේ මගේ අත්තම්මා මං පොඩි කෙල්ල කාලේ මට අරගෙන දීපු වළල්ලයි මුද්දයි මම මේ පෙට්ටියේ දාගෙන තමයි සෙල්ලම් කළේ. උඹලා මේ තට්ටු දෙකේ ගෙදර හදන්ඩ කලින් ඔය පිළිකන්නට ටිකක් එහායින් තමයි අපේ කටු මැටි ගෙදර තිබුණේ.  මම පොඩි කෙල්ල කාලේ සෙල්ලං කරපු දේවල් වලින් එකක් තමයි ඔය. තව හුඟක් ජාති ඔය පොළොව යට වැළලිලා ඇති. හා හා ඒවගෙන් කමක් නෑ. ඔන්න ඔය කට්ටඬියා ගෙදරින් පිට කොරපල්ලා.  මේ ගෙදරට ලොකුම හූනියම තමයි උඹලා මේ කරගන්න හදන්නේ”‍. යැයි කියමින් ඇය ගෙතුළට ගියාය.
මේ කතාවෙන් පසුව, කර කියාගත හැකි දෙයක් නොවුනු තැන, සූරසේන මුදලාලි කට්ටඬියාට ඔහුගේ අඩුම කුඩුම රැගෙන නිවසින් යන ලෙසට පවසා කිසියම් මුදලක් ගුලිකොට ඔහු අත තැබුවේය.
මේ සිදුවීම හේරත්තල්මිල්ලෑව ගම පුරාම පැතිර ගියේය. ගමේ සමහර අය සූරසේන මුදලාලිගෙන් “මුදලාලි හූනියම කැපුවද”‍කියා අසන විට සූරසේන මුදලාලි මුවින් නොබැන වෙන කතාවකට මුලපුරනවාලු‍.

කැබිතිගොල්ලෑව
හේමන්ත රණසූරිය



අදහස් (0)

කපන්න ගිය හූනියම ශාන්තියක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site