(විශ්වගැමුණු ප්‍රියංකර)
190 ගොඩගම සිට පිටකොටුව දක්වා ගමන් ගන්නා බස් රථයකි. පාසල් නිවාඩු නිසා සෙනඟ අඩු ය. නමුත් රියැදුරු වේගය අඩු නොකොට මගීන් කලට වේලාවට රාජකාරි සඳහා රැගෙන යාමේ උත්සාහයක නිරත විය.
දිගින් දිගටම බසය පුරා කොන්දොස්තරගේ අණ පැතිරී ගියේ ද ඒ ඉතා කාරුණික අයුරිනි. මෙසේ ගමන් කළ බස් රථයට පිටු පසින් තවත් බස් රථයක් වේගයෙන් එනු හදිසියේ පෙනුණි. රියැදුරු කලබල නොවීය.
මේ අතරින් බසය මැදින් ශබ්දයක් ඇසිණි. “ඉතිරි සල්ලි දෙනවා. මම රුපියල් විස්සක් දුන්නේ, ගාන දාසයයිනේ. හොර හැත්ත. උදේ ඉඳන් අපිව කොල්ල කනවා. මුන්ට හරි යනවනේ...” එසේ කියමින් මගියෙක් මහත් කෝපයෙන් කොන්දොස්තරට බැණ වදින්නට විය. ඒ සමගම කොන්දොස්තර මෙසේ කීවේය. “මහත්තයට රුපියල් හතරක් ද ඕනේ හතරක් නොවෙයි මම මහත්තයට රුපියල් දහයක්ම ඉතිරි දෙන්නම්.. හැබැයි මහත්තයා මට දුන්නේ විස්සේ කොළයක් නොවෙයි....”
“මොනවා විස්සක් නොවෙයි... යකෝ මුන්ට හොඳක් වෙන්නේ නෑනේ.” එසේ බැණ වදින්නට වූ ඔහු දිගටම ආඩපාලි කියන්නට විය. ඒ සමගම කොන්දොස්තර මෙසේ කීවේය.
“මහත්තයෝ ඔය කුකුල් කේන්තිය අඩුකර ගත්තේ නැත්නම් මහත්තයාට පාඩු ගොඩක් විඳින්න වේවි. අනික අපි බස් එකේ යන එන උදවියට මනුස්සකමට කතා කරපුවාම අපි නිවටයෝ කියලා හිතන්නේ. ඒත් මිනිස්සුත් අපි ගැන හිතන්න ඕන. මම මේ රස්සාව කරන්නේ නිකමෙක් වගේ ඉන්න අකමැති නිසා. මේ පාරේ දුවන බස් දෙකක් අයිති මටයි. මට වංචා කරලා රුපියල් හතරක් අරගෙන වැඩක් නෑ. එසේ කියමින් කොන්දොස්තර මගියා අතේ රුපියල් 484ක් තැබීය. තබා මෙසේ කීවේය.
“මහත්තයෝ... මහත්තයා මට දුන්නේ රුපියල් 20 නොවෙයි. 500 කොළයක් මේ තියෙන්නේ...”
මමත් මේක වෙනමම තියාගෙන හිටියේ රුපියල් විස්සේ කොළයට මාරුවෙන නිසයි. ඔය ඉක්මන් කේන්තිය අඩුකර ගන්න. නැත්නම් ජීවිතයට ලොකු පාඩු විඳින්න වේවි. එතෙක් වසවර්තියකු ලෙස කෝප වී සිටි මගියා ඒ වන විට ලැජ්ජාවට පත්ව බිම බලාගෙන සිටියේය.
රූමත් යුවතියක් කොන්දොස්තර දෙස බලා සිටියේ වීරයකු දෙස බලන බැල්මෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සයෙක්ගේ පිට පෙනුමෙන් කවදාවත් ඒ කෙනාව මනින මිනුම් දණ්ඩක් නොකළ යුතුයි. මනුස්සයෙක්ගේ වැදගත්කම මැනිය යුත්තේ ඒ කෙනා දරන තනතුරෙන්ද නොවෙයි. කරන කියන දේවල් වලින් මනුස්සයෙක් වැදගත්ද නැද්ද කියල තීරණය කල හැක.