ආයතනයක සේවය කළ පුද්ගලික ආරක්ෂක නිලධාරියා තරුණයකි. හෙතෙම ආයතනයේ නිලධාරීන්ට හිතවත්ය. ඔහුට ආහාර සැපයූ සැපයුම්කරු එක් කෑම වේලක් සදහා රුපියල් හැටක් අය කළේය.
කිසිම රසක් නොමැති එම ආහාර ආරක්ෂක නිලධාරියා අනුභව කළේ දෙස් දෙවොල් තබමිනි. ආරක්ෂක නිලධාරියා ආහාර ගත්තේ ආයතනයේ නිලධාරීන් ආහාර ගන්නා කාමරයේය. දිනක් ඔහු දිවා ආහාරය ගැනීමට ගිය විට හිතවත් තරුණ විධායක නිලධාරියෙක් ද තම කෑම පාර්සලය රැුගෙන පැමිණියේය. බත්පත දිගහල ආරක්ෂක නිලධාරියා, ‘අයියෝ අදත් තියෙන්නේ සැමනුයි පරිප්පුයි’ යැයි කීය. එවිට විධායක නිලධාරියා, ‘ඉතින් කොච්චර හොඳදැයි’ පැවසූ විට, ආරක්ෂක නිලධාරියා, ‘මෙලෝ රහක් නැහැ සර්.. හැමදාම එක්කෝ සෝයාමීට් නැත්නම් සැමන්’ යැයි පැවසීය. ‘මට දෙන්න එස්. ඕ.ගේ කෑම එක. මගේ කෑම එක ඔයා කන්නැයි’ නිලධාරියා පැවසීය. ආරක්ෂක නිලධාරියා පුදුමයෙන් බලා සිටිද්දී ඔහුගේ කෑම පාර්සලය නිලධාරියා අනුභව කරන්නට විය.
‘ෂා.. හරි රසයිනේ. මම ගෙදරින් ගේන කෑම හැමදාම කාලා එපා වෙලයි මට තිබුණේ. අපි හැමදාම කෑම මාරු කරගමු. හැබැයි එස්. ඕ. කාටවත් කියන්න එපා’ නිලධාරියා පැවසීය. දැන් දිවා ආහාරය කාටත් හොරා දෙදෙනා මාරුකර අනුභව කරන අතර නිලධාරි මහතාගේ දිවා ආහාරය කුකුළුමස්, මාළු, බිත්තරවලින් යුක්ත වුවත් ආරක්‍ෂක නිලධාරියාගේ දිවා ආහාරයේ ඇත්තේ සෝයාමීට් නැත්නම් කරවලය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක නිලධාරියා ගැන කරුණාවෙන් මෙම විධායක නිලධාරියා තමුන්ගේ බත් එක ඔහුට දෙනවානම් ඔහු කරගන්නේ ඉතා හොඳ පිනක්. තමුන්ට ගෙදරින් දෙන බත් එක ගැන ඇත්තටම අප්‍රසන්න අදහසකින් ඔහු මේක කරනවා නම් ඒක පවක්. ඔහුගේ සිතෙහි ඇති සත්‍ය චේතනාව අනුව තමයි ඔහු කරන දෙයෙහි ප්‍රතිඵලය තීරණය වෙන්නේ. (නි)
නිහතමානීකම නරකට හිටින්නත් බැරි නැහැ ඉදිරියේදි (නි)
මම විදේශයක ඉන්නේ, පුද්ගලික කර්මාන්ත ශාලාවක. අපි සියලුම දෙනා කන්නේ කැන්ටීමේ කෑම. අයිතිකාරයා සහ ඔහුගේ පුතාලද ඇතුළුව. ලංකාව ඉතින් වඩා උසස් රටක්නේ නේද? (නි)
හැමදාම ගෙදර කෑම කනකොට එපා වෙනවා ඉදල හිටලා පිට කෑමක් හොරට කෑවට කෑමක් නෑ (බ)
මේක ගෙදර නෝනා දැනගත්තොත් කාලා ඉවරයි (නි)
ඇයි සමාගම් මැදුරේ කෑම එක (බ)
හැමදාම බුරියානි කන අය වෙනසකටත් එක්ක කියලා ඉඳලා හිටලා පරිප්පුයි බතුයි හොරෙන් කන්න කැමතියි තමයි. (නි)
මම කොළඹ වැඩ කරන කාලේ අපි කිහිප දෙනෙකු සැමදාම හොඳ හොඳ කෑම කඩවල් සොයමින් යන එක මුළු ආයතනයේම ප්‍රසිද්ධ දෙයක්. සිංහල අවුරුද්දෙන් පසු වැඩ පටන් ගත දින කෑම වෙලාවට පෙර අපේ ලොක්කා මා සොයාගෙන ඇවිත් ඔහුගේ කුස්සි අම්මා ගමේ ගිහින් නිසා මම කෑම ගන්නා තැනකින් "රතු කැකුළු හාල් " කෑම පැකට් හතරක් ගෙනත් දෙන්න කියා මුදල් දුන්නා. අපි පැය එකහමාරකට වඩා මුළු කොළඹම කරක් ගහලා අන්තිම පිටකෝට්ටේදී ඇරලා තියන හෝටලයක් හමුවෙලා බත් අරගෙන ගියා. බත් ඉදිලා මදි. හාල් විකෙනවා. හවස දෙකට විතර ලොක්කා මගේ කාමරයට ඇවිත් මට කියනවා " මං කැකුළු හාල් කෑම ගේන්න කිව්වට මං හිතුවේ උඹ බත් අරන් එයි කියලයි" "වැරැද්ද මගේ" "මං කිව්වේ කැකුළු හාල් කියලනේ" අපි ඔක්කොටම හිනා (ම)
මමත් ඔහොම කර තිබෙනවා (නි)
මේ ඉතින් ලංකාවටම ආවේණික දේවල් දියුණු රටවල් වල මේ වගේ බේද නෑ විධායක සේවක දෙන්නම එකම බස් එකේ යන්නේ (බ)
ජයතු ඔබහරි. එම අදහසත් එකතුකළා.එත් එක ගිලිහිලා. බණ්ඩා මොකාටද එන්න හදන්නේ. ඒගොල්ලෝ මුලින්, මුලින්, කෑවෙ හොරට නොවේ.නේද .ගෙදරින් රසට කෑම හැදෙන්නේ නැතනම්. පිටින් කන්නද හදන්නේ.... පිට කෑම පිටින් ලස්සන විතරයි. රසගුණ සහ පිරිසිදු බැවින් තොරයි .ලෙඩ වෙන්නත් පුළුවනි. පරම්පරාගත රෝගියෙක් නොවී ලැබෙන දෙයක් රස විදියකට හදවාගෙන ගෙදරින්ම කන්ට.බණ්ඩා ළමය.(අ)
කිසිම ආඩම්බරයක් නැතුව සේවාදායකයාගේ බත් එක ඉල්ලා , මාරුකරගෙන කන්නට තරම් ඔහු නිහතමානියි. එහෙත් මේ නිහතමානීකම වැඩි දුරක් යන්න හොඳ නැහැ (නි)
නිහතමානී විධායක නිලධාරියෙක් සහ කීකරු ආරක්ෂක නිලධාරියෙක්. ඒත් ටික කලක් යනකොට ඕක ඇරිලා යාවි. මොකද ලංකාවේ ආයතනයක්නේ.... (නි)
මම විධායක ශ්‍රේණියේ. අපිට වෙනම කන්න තියනවා බුෆේ. ඒත් මමත් සමහර වෙලාවට සාමාන්‍ය සේවක කැන්ටින් එකේ කෑම කනවා. ඒවා රසයි. ඒ හැමදාම කන්නේ නැති නිසා. (නි)
අර සිංහල කියමනක් තියෙනවනේ, වලව්වේ හාමුලට හැමදාම කුකුල් මස් කාලා වෙනසකටත් එක්ක කරෝල ටිකක් කන්න හොයනවා කියලා. (නි)
මම හිතන්නේ වරායේ කෑම එක විතර හොඳ කෑම එකක් කිසිම සාමාන්‍ය හෝටලයක නැතුව ඇති. (නි)