(වියලුව වාර්තාකරු)
අලුත් අවුරුදු නැකතින් ලිප තැබූ කිරි මුට්ටිය ඉතිරුවේ නැතැයි කෝපයට පත් පුද්ගලයෙකු අවුරුදු සිරිත් විරිත් පසෙක තබා සිය බිරියට දිගට හරහට පහර දී ඇය රෝහල් ගත කළ බව කියවෙන පුවතක් කන්දකැටිය පොලිසියෙන් වාර්තා විය.

සිද්ධිය මෙසේය.
වැඩිවියට පත් දරුවන් සිටින පවුලකි. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නිසි පරිදි ඉටු කිරීමට සිතූ නිවැසි කාන්තාව සුබ නැකතට කිරි ඉතිරවීමට සූදානම් වූයේ සිය දරු පැටවුන්ටද ඒ ගැන කියා දෙමිනි.
ඒ වන විටත් කටගොන්නක් බීගෙන සිටි සැමියාද බිරියගේ කටයුතුවලට එහෙන් මෙහෙන් සහාය වූයේ අවුරුදු චාරිත්‍ර හරි හැටි ඉටුකිරීමේ අගය දරුවන්ට කියා දෙමිනි.
සුබ නැකතට අනුව කිරි ඉතිරවීමත් කිරි බත පිසීමත් එක වරම කළ යුතුයැයි සිතූ නිවැසි කාන්තාව සකස් කර ගත් කිරි මුට්ටියටම අවශ්‍ය හාල් ප්‍රමාණය ද එක්කර සුබ නැකතට ලිප තැබුවේ වැඩ දෙකම එකවර කර ගැනීමේ පහසුව තකාය.
දැන් සියලු දෙනා බලා සිටින්නේ මුට්ටියේ කිරි උතුරා පිටාර ගලන තෙක්ය. එහෙත් හාල් දැමූ කිරි මුට්ටිය උතුරන බවක් දක්නට නොලැබිණි.
ඒ වන විටත් නිවසේ සාලයේ වූ රූපවාහිනි යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබුණි.
රූපවාහිනී තිරයේ වූ කිරි මුට්ටියේ කිරි උතුරා පිටාර ගලා යන ආකාරය ද දැකගන්නට ලැබිණි.
එහෙත් සිය නිවසේ මුට්ටිය ලිප තබා අඩ හෝරාවකටත් වැඩි කාලයක් ගතව ඇතත් එය උතුරා නොයනු දුටු සැමියාගේ හිසට යක්ෂයා ආරූඪ වූවේ උන්හිටිතැන් පවා අමතක වෙමිණි.
“උඹට යකෝ කිරි මුට්ටියක්වත් උතුරවා ගන්න බැහැ” යැයි කෑ මොර දුන් ඔහු බිරියට හොඳටම තඩි බෑවේ සිය නිවැසියන්ගේද විරෝධතා නොසලකා හරිමිනි.
සැමියාගේ පහරකෑම්වලට ලක්ව බරපතළ තුවාල ලැබූ ඇය ඒ මොහොතේම රෝහල් ගත කෙරිණි.
අශෝභන ලෙස හැසිරෙමින් සිය බිරියට තඩි බෑ බවට චෝදනා ලැබූ ඔහු ඒ මොහොතේම පොලිස් අත්අඩංගුවට ගැනුණි.
බිරිය තවමත් රෝහලේය. ඔහු පොලිස් කූඩුවේය. ඔහුට විරුද්ධව නඩු පවරන බව ද පොලිසිය කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව අනාදිමත් කාලයක සිට නැකතට සියලු දේ කලත් තවමත් නොදියුණු, තුන්වන ලෝකයේ රටක් වෙලා තියෙන්නේ මෙවැනි මිනිසුන් නිසයි.
වැඩිවියට පත් දරුවන් ඉදිරි පිට, රෝහල් ගත වෙන්න තරම් ගුටි බැට දුන්නා නම් , කිරි ඉතිරුනත් ,හැමදාම මේ බිරිඳට ගුටි බැට වලින් නම් අඩුවක් නැතුව ඇති. අර අහිංසක දරුවන්ට අවරුදු දවසේ හොඳ අවුරුදු තෑග්ගක් ලැබිල තියෙන්නේ.පව් අහිංසක දරුවන්!
කිරි උතුරනකොට මුට්ටියට හාල් දමනවානම් කට ළඟටම පිරෙන්න කිරි දමන්න ඕනා.