දිනපතා මහ හඬින් සින්දු දමන්නට එපා යැයි අල්ලපු නිවසේ අයට කොතරම් කීවත් අසන්නේ නැති තැන අඹු දරුවන් සමඟ තම නිවසේ මිදුලට බැස එම සින්දුවල රිද්මයට නටන්නට පටන් ගත් මහත්මයකු පිළිබඳව වයඹ ප‍්‍රදේශයෙන් වාර්තා වේ. වයඹ ප‍්‍රදේශයේ ගමක වැදගත්තාලයට ජීවත්වන මහත්මයෙකි. දරුවන් හා බිරිය ද ඉතාමත් යහපත් අය වෙති.
අසල්වැසියන් සමඟ ද ඔවුහු බොහෝ සුහදව දිවි ගෙවති. මේ අතර එම නිවෙසට යාබඳව පිහිටි නිවෙස්හිමියා අලූත්ම මාදිලියේ කැසට් යන්ත‍්‍රයක් මිලට ගත්තේ ඔහු සින්දු ඇසීමට මහත් ආශාවක් දක්වන්නෙක් වූ බැවිනි. කැසට් යන්ත‍්‍රය ගෙන ආ මුල් දිනයේ ලංකාවේ ජනප‍්‍රිය පැරණි ගායකයන්ගේ ගීත උදේ පටන් මධ්‍යම රාත‍්‍රිය වනතුරුම ඇසුනේ පළාතම දෙවනත් වන අයුරිනි.
පසු දින ද එම කැසට් යන්ත‍්‍රය පෙර ලෙසම ඉතා උස් හඬින් ක‍්‍රියාත්මක විය. තුන්වන දිනයේ ද තත්ත්වය එසේමය. හතරවන දිනය වනවිට යාබඳ නිවෙසේ වෙසෙන මහත්මයාට මෙය මහත් කන්දොස්කිරියාවක් බවට පත් විය. තවත් මෙම කැසට් යන්ත‍්‍රයේ හඬ ඉවසා සිටිය නොහැකි තැන මහත්මයා ගොස් යාබඳ නිවැසියන්ට සුහදව කීවේ හඬ ටිකක් අඩු කරන ලෙසයි. ඒ අනුව කැසට් යන්ත‍්‍රයේ හඩ මදක් අඩු වූ නමුත් පැය කිහිපයකින් නැවතත් පෙර ලෙසම හඬ වැඩිවිය. ඊට පසු දින ද මෙම තත්ත්වය වෙනසක් නොවිණි. අවසානයේ මහත්මයා තීරණයක් ගත්තේය.
මහත්මයා සහ බිරිය දරුවන් ද සමඟ මිදුලට පැන සියල්ලෝම නටන්නට පටන් ගත්හ. ඔවුහු නොකඩවා පැය කිහිපයක් මෙසේ නැටුවෝය. පසු දින ද යාබද නිවසේ කැසට් යන්ත්රය ක‍්‍රියාත්මක කරනවාත් සමඟම මිදුලටබට පිරිස කලින් දින මෙන්ම හූ කියමින් නැටුම පටන් ගත් අතර මෙය දුටු අසල්වැසියෝ එළියට පැමිණ බලා සිටියහ. දින කිහිපයක් මෙසේ සිදුවන විට යාබඳ නිවසේ කැසට් යන්ත‍්‍රයේ හඬ කෙමෙන් අඩු වූ අතර අවසානයේ අද වනතුරුත් උස් හඬින් නම් එය ක‍්‍රියාත්මක වූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සරලව ගත්තත් අපේ රටේ මේක ඇත්තටම බරපතල තත්වයක්. තමන්ගේ නිදසහ අනෙක් කෙනාගේ නහය අගින් කෙළවර වන බව අපේ රටේ හුඟක් අය දන්නෙ නැහැ. හිතන්න අල්ලපු ගෙදර ලෙඩෙක් ඉන්නවා, පාඩම් කරන දරුවෙක් ඉන්නවා, රෑ වැඩ කරලා දවල්ට පොඩ්ඩක් නිදාගන්න එන කෙනෙක් ඉන්නවා කියලා. මොනතරම් වදයක්ද මේ සද්දේ? (නි)
80 දශකයේ මුල් කාලයේ අප විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදී මේ හා සමාන ගැටළුවකට අපේ මිත්‍රයෙකු ද ඔහුගේ ගමේ දී මුහුණ දෙමින් සිටියේ ය. . අප මිත්‍රයාගේ අසල්වැසියා මහ හඬින් උදේ සිට රෑ වනතුරු ඔහුගේ කැසට් යන්ත්රය ක්‍රියාත්මක කළ හෙයින් ඒ ආසන්නයේ ජීවත් වූ කිසිම සිසුවෙකුට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි වූයේ නැත. බොහෝ අවස්ථාවල මේ ගැන එම පුද්ගලයා දැනුවත් කළත් ඔහු ඒ කටයුත්ත නැවැත්තුවේ ද නැත. දිනක් විශ්වවිද්‍යාල සගයන් පිරිසක් කැටුව අප අපගේ මිත්‍රයාගේ නිවසට ගොස් මධුවිත සප්පායම් වී ඉහත කී අසල්වැසියාගේ නොනවතින සංගීතයේ රස පහස විඳිමින් ඔහුගේ මිදුලට ගොස් නටන්නට පටන්ගත්තෙමු. මින් උද්දාමයට පත් අසල්වැසි බොහෝ පිරිසක් ද අප හා එක්වෙමින් අසල්වැසියාගේ මිදුලේ වවා තිබූ භව භෝග විනාශ කරමින් පැය ගණනක් විනෝදයෙන් නටන්නට පටන් ගත්හ. මින් මහත් සේ කිපුණු අසල්වැසියාගේ බිරිඳ අප සැමට බැණවදිමින් කැසට් යන්ත්‍රය පොළොවේ ගසා, ඇයගේ ස්වාමියාටද පරුෂ වචනයෙන් බැණවදිමින් දොර වසා දැම්මා ය. ඉන් පසු කිසි දිනෙක අසල්වැසියාගේ නිවසින් කිසිදු සංගීත රාවයක් නොඇසුණු බව මිත්‍රයා අප සමග කීවේ ය. (බ)
සමහරුන් සින්දු අහන්නේ තමුන්ට නොවේ අනුන්ට දැනෙන්ට ගෙදර තියෙන ශ්‍රව්‍ය දෘශ්‍ය පිළිබඳව (බ)
ලසිත් ඒ හරියේ තියෙන්නේ මේ ගෙවල් දෙක විතරයි කියල ඔය මිනිස්සු කියන්නෙ !.අනේ මන්ද? (බ)
එතකොට දැන් මේ කැසට් සද්දේ ඇහිලා තියෙන්නේ මේ කියන මහත්මයාගේ ගෙදරට විතරද ? නැටුම් සංදර්ශනයට කලින් , අහල පහල අනෙක් කට්ටියට කැසට් සංදර්ශනය ඇහිලා නැද්ද ? (බ)
මාස 6 කට කලින් මමත් මේක අත්දුටුවා (නි)
දන්නා කෙනෙක් කියනවද ලංකාවේ නීතිය මොකද්ද ශබ්ද දුෂණයට විරුද්ධව? මට තිබෙනවා පැමිණිල්ලක් කරන්න පුද්ගලික බස් වලට විරුද්ධව. (නි)
අපේ පැත්තෙ වෙන විදිහට හැමෝම හැඩගැහුනා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැනෙ. අපේ එක ගෙදරක උස් හඬින් කැසට් එක දැම්මහම අනිත් ඔක්කොමත් ඒ ඒ අයගෙ කැසට්, සෙටප් ඔය ඔක්කොම දානවා. ඒවට නටන්න වුණොත් එක නිවසකින් තවත් නිවසකට යනවා ඇරෙන්න වෙන වැඩක් නැතිවෙන නිසා අපිත් විදුලිය භාවිතා නොකරම සිංදු අහනවා. (නි)
මේක කළ කෙනා මොනතරම් උගත් වුණත් මෝඩයෙක් නේද? (නි)
අපූරු පිළියම! (නි)
අල්ලපු ගෙදර මනුස්සයට පින්සිද්ධ වෙන්න නොනගෙයි මහත්තයාගෙයි කොලෙස්ටරෝල් නම් අඩුවෙන්න ඇති නටලම! (නි)
ඒකත් ඉතින් නරකම නැහැ. හොඳට විනෝද වෙලානේ! (නි)
මගෙත් යාලුවෙක් හිටියා (90 දශකයේ) ගමටම ඇහෙන්න සිංදු දාන කෙනෙක්. ඒ කාලේ අපිට ඇහෙන සිංදු මිසක් වෙන ඒවා අහන්න ක්‍රමයක් නොතිබුන නිසා මම ඒකට හරිම කැමතියි. (ගෙදර රේඩියෝවෙන් ඇහුවේ උදේට පිරිත් ටික, හවසට ප්‍රවෘත්ති, සඳුදාට මුවන්පැලැස්ස විතරයි. ඒකත් ක්‍රියාත්මක කිරීමේ සම්පුර්ණ බලතල තිබුනේ අප්පච්චිට විතරයි. අද නම් යාළුවා සිංදු අහන්නෙත් නැහැ, අපේ ගෙදර රූපවාහිනී, රේඩියෝ අදටත් නැහැ. මැදි වයසේ අපි මඟදී හමුවුණත් යන්නම් කියලා යනවා විතරමයි. (නි)
මහත්මයාට මොලේ තියෙනවා. අපේ රටේ ගොඩක් දෙනෙකුට අසල්වැසියන්ට කරදරයක් නොවී ජීවත්වෙන්න දන්නෙ නැහැ. (හේ)
මමත් මගේ පාසල් අවධියේ මේ මගේ දෙයකින් බැට කාපු කෙනෙක්. මගේ ගෙදර ඉස්සරහ ගෙදර හිටියේ කාර්මික මහතෙක්. උදේ හිටන් මහා රෑ වනතුරු කැසට් දමා තිබුනා. අපට කිසිම පාඩම් කටයුත්තක් කර ගන්න බැරි වුනා. කාරුණිකව සද්දය අඩු කන්න ඉල්ලුවාම අමු තිත්ත කුණුහරුපයෙන් බැන වදිමින් "(හේ)
මාළු-ඇඟේ නටලද (ම)
නිවෙස් හිමියා තනිකඩයෙක් වෙන්න.ඇති .ඔය තනිකම පාළුව යන්නත් එක්ක හයියෙන් සින්දු දාන්න ඇති. (බ)
මම කටාර්වල ඉන්න කොට .එක රූම් එකේ ඉන්න ලංකාවේ දෙන්නෙක් තරහවෙලා.එකකෙනෙක් සීඩි ප්ලයෙර් එකක් ගෙනල්ල දානකොට අනෙක් කෙනා නිරුවතින් කාමරයේ නටන්න පටන්ගත්තලු ඩිස්ටර්බ් වෙනවා කියල.(බ)
මේ කැසට් අයිතිකාරයා සුමුදු හේවා හරි යහපාල උන්නැහේ ද දන්නේ නැහැ. අනෙක් අයගේ කන් ඇසෙන සීමාව ගැන වගේ වගක් නැති බව පෙනුන නිසා ඇහුවේ. (බ)
මොනවා වුණත් අල්ලපු ගෙදර මනුස්සයා කරලා තියෙන්නේ හොඳ දෙයක්. (නි)