සිංහල අලුත් අවුරුද්ද දා රාත්‍රියේ රහසිගතව පැවැත්වීමට යොදාගත් සාදයක් අන්තිමටම සවුත්තු වී මිතුරන් දෙදෙනා විරසකව විසිර ගිය පුවතක් රජරට පළාතේ ගමකින් දැනගන්නට ලැබුණි.
අඹ යහළුවන් දෙදෙනෙක් මෙවර අවුරුද්දට සාදයක් පැවැත්වීමට කටයුතු සූදානම් කළහ. එහෙත් එම සාදය පැවැත්වීමට ‘පරහක්’ තිබුණේ ඔවුන් දෙදෙනාගේ තවත් මිතුරකු නිසාය. එම මිතුරා නිතරම අනුන්ගෙන් යැපෙන පිනට අඩි ගසන්නෙකි. මිතුරන් දෙදෙනා සාදය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණ නිවස පිහිටා තිබුණේ මේ පිනට ගිලින හාදයාගේ නිවස ආසන්නයේමය. මේ හේතුව නිසා සාදය පවත්වන්නට සූදානම් කර තිබුණු නිවසේ කාමරයේ විදුලිය විසන්ධිකර ඔවුහු සාදය පැවැත්වීමට කතිකා කර ගත්හ.
එක් මිතුරෙක් ඉස්තරම්ම වර්ගයේ මත්පැන් බෝතලයක් සහ එයට අවශ්‍ය බයිට් වර්ගද රැගෙන කළුවරේම කාමරයට පැමිණ වැඩි ආරක්ෂාවට ඒවා ඇඳ යට තැබුවේය.
අනෙක් මිතුරා එම අවස්ථාවේ කාමරයේ එහාට මෙහාට සැරිසරමින් ඔහුගේ පෙම්වතිය සමග දුරකථන සංවාදයක යෙදී සිටියේය.
දුරකථන සංවාදය උණුසුම් වචන හුවමාරුවක් බවට පෙරළී තිබුණි. මිතුරා ද නොඉවසිලිමත්ව ඊට පෙරළා ප්‍රතිචාර දක්වමින් කාමරය තුළ අතපය වීසි කරමින් ගමන් කළේය.
බයිට් සහ මත්පැන් සපයන ලද අනෙක් මිතුරා ඉතාම සතුටින් කාමරයට ඇතුළු වූවා පමණි. ‘සලාං’ යන හඬකින් කාමරය දෙදරුම් කෑවේය. මිතුරා වහාම විදුලිය දැල්වීය. දුරකතන සංවාදයේ යෙදී සිටි මිතුරාගේ පය විස්කි බෝතලයේ ගැටී බෝතලය සුනු විසුණු වී තිබෙන අයුරු දක්නා ලදී.
අනෙක් මිතුරාට මළ පැන්නේය. කිව යුතු සහ නොකිවයුතු වචන මාලාවකින් මිතුරාට දමා ගසා ඔහු කාමරයෙන් පිටව ගියේය.
එම සාදය එතනින් හමාර වූයේ ඔවුන්ගේ අඹ යහළුකම ද සදහටම හමාර කරමින් වුවත්, “රහසේ කරන කොයි වැඩේටත් වෙන්නේ ඔය ටිකම තමා. මදැයි අවුරුදු කෑවා” යැයි ගමේ ගොඩේ උදවිය පවසති.
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd